දක්ෂිනාංශික එකමුතුවට ආණ්ඩුව බිද දැමීමට නොහැකිය. ජනතාවාදී ඉදිරියක් සදහා ඒකාබද්ධ ජන පවුරක්! 

සංවර්ධන ගුරු උපවාසය  ජයග්‍රාහීව අත්හරි

වේගවත්ව ඉදිරියට ඇදුනු සංවර්ධන ගුරු සේවා උද්ඝෝෂණය වර්ජන තත්වය ඉක්මවා තර්ජනාත්මක ප්‍රකාශන සමග උපවාසයක් දක්වා ගමන් කලේය. එහිදී සියලු දෙනාගේ අවධානය යොමු වූයේ ගුරුවරුන් තම ජීවිත අඩපන වන තෙක්ම සිදු කරන කුසගිනි උපවාසයට පාලකයන්ගේ හදවත් උනු නොවන්නේ කුමක් නිසාද යනුවෙනි.. විශේෂයෙන්ම මොවුන් සියලු දෙනා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් මගින් මෙය බේරා ගැනීමට සැරසුනත් ජනාධිපතිගේ දින දීම සිදුවී තිබුනේ උපවාසයේ නිරත වූ අය බලාපොරොත්තු වූ ලෙස නොව ජනාධිපතිට ගැලපෙන ආකාරයටය. ඒ අතුරතුර ජා.ජ.බ. සමහරුන් පවසා තිබුනේ එ‍කෙක් මැරුනත් සාකච්ඡා නොදෙන බවටය. කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිතුමා මුණගැසී මාධ්‍ය හමුවට පැමිණි උපවාසයේ නිරත ගුරු සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කලේ ඔවුන්ගේ ගැටලුව ඉතාමත් මානුෂික ආකාරයකින් බැලීමට ජනාධිපතිවරයාට හැකි වූ බවත්, එය විසදීමට ක්‍රමයක් සකසා ඉදිිරිපත් කිරීමට එකග වූ බවත්ය.  එනිසා නිදහස් දිනයද එළඹෙන බැවින් උපවාසය ජයග්‍රාහීව අත්හරින  ප්‍රකාශ කලේය.  එපමණක් නොව ඔවුන් සාකච්ඡාවට සම්බන්ධවෙමින් ජනාධිපති සමග සිදු කරන සංවාදය ජන මාධ්‍ය සිසාරා ගමන් කල අතර, විපක්ෂය මෙම උද්ඝෝෂණය ඩැහැ ගැනීමට බලා සිටියත් එයට ඉඩක් නොතබන බවද ජනාධිපති පිලිබදව විශ්වාසයෙන් යුතුව මෙය විසදා ගැනීමට බලා පොරොත්තු වන බවද උද්ඝෝෂකයින් කරුනු දැක්වීමත් සමග විපක්ෂයේ බලාපොරොත්තු සුන් කර දැමුවේය. එපමණක් නොව සතියක් ගතවීමටත් පෙර නව ක්‍රමයකින් ගුරු බදවා ගැනීම් සදහා ගැසට් පත්‍රයද නිකුත් වූයේ සියලු දෙය සමතයකට පත්කරවන විශ්මයජනක ආකාරයකින්ය. 

මාදැල් සටන කොයිබටද?

මේ වනවිට මාදල් ධීවර ජනතාව පෙල ගැසෙමින් ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂනයක නිරත වෙමින් සිටී. ඔවුන් හමුවීමට යූ.ඇන්.පී. ප්‍රබලයෙක් හා හිටපු ආණ්ඩුකාරවරයක් වන නියෝජිතයෙක් පැමිණි විට උද්ඝෝෂකයින් ඔහුගේ පැමිණීම ප්‍රතික්ෂේප කර දැනුම් දුන්නේ විසදුම් ලබාදිය නොහැකි අයෙකුගේ උද්ඝෝෂණයට සහය පලකිරීමට පැමිනීම පලක් නැති වැඩක් ලෙසය. ධීවර ඇමතිවරයා සාකච්ඡාවට කැමති බව කිහිප විටක් දන්වා සිටියත් උද්ඝෝෂයින් ඔහුත් සමග සාකච්ඡාවට කැමැත්තක් නොදක්වයි. එයට හේතුව වී ඇත්තේ ද ඔහුටද ඔවුන්ගේ ගැටලුවට විසදුමක් ලබා දිය නොහැකි බව උද්ඝෝෂකයින් දන්නා නිසාය. කොතෙක් උද්ඝෝෂණ කලත් ජනාධිපතිවරයා තවමත් මුණිවත රකිමින් සිටි. ඔහුගේ දෙනෙත් විවර කර ගැනීමේ මාර්ගයක් ලෙස විපක්ෂ නායකවරයා මුණගැසී උද්ඝෝෂකයින් සාකච්ඡාවක් කළ අතර, විපක්ෂ නායකයාගේද ඉල්ලීම වී ඇත්තේ උද්ඝෝෂකයන්ට ජනාධිපති සමග සාකච්ඡාවකට ඉඩකඩ ලබා දෙන ලෙසය. එයින් පෙන්නුම් කරන්නේ ජනපතිගේ දෙසවන්හි දොරකවුලු විවර කර ගැනීමට පාර්ලිමේන්තුව තුල ඝෝෂාවක් ඇති කිරීම විපක්ෂ නායක භාරගෙන ඇති බවකි.  එපමණක් නොව උද්ඝෝෂකයින් දන්වා සිටින්නේ දැනට අභියාචනා අධිකරණයට ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති නඩුවද ඉල්ලා අස් කර ගෙන ජනපති සමග සාකච්ඡාවට  කැමති බව ජනමාධ්‍ය ඉදිරියේ මොර දෙමින් හඞ නැගුවත් ජනාධිපති නිහඩය. ඇත්ත වශයෙන්ම සම්ප්‍රදායික මාදැල් කර්මාන්තය පව්ත්වාගෙන යාමට රජයේ විරුද්ධත්වයක් නැත. නමුත් යාන්ත්‍රික උපකරන යොදවමින් මිනිසුන් වෙනුවට යන්ත්‍ර භාවිතයෙන් දැල් ඇදීම නිසා මත්ෂ්‍ය සම්පතට මෙන්ම මෙන්ම මුහුදු පතුල පලදුවීමෙන් ස්වභාවික සාගර පද්ධතියට හානි සිදුවන බව නාරා ආයතනය ඇතුලු රාජ්‍ය නිලධාරින් හා අමාත්‍යවරයාද පෙන්නුම් කර දෙමින් සිටිති. මෙම ගැටලුව විසදා දීමට ජනාධිපතිවරයාට කල හැකිව ඇත්තේ තාවකාලික විසදුම් යෝජනා ඉදිරිපත් කිරීමකි.  ඔහුගේ නිහඩතාවයට හේතුව වී ඇත්තේද  එය විය හැකිය. නමුත් මෙම කර්මාන්තය නිසා යැපුණු දහස් ගණනක් ජනතාවගේ ජීවනෝපාය අහිමිව පාරවල් වලට පැමිණ උද්ඝෝෂණයන්ට ඉඩහැරීම ජනාතාවාදී රජයකට කිසිසේත්  නොගැලපේ. යාන්ත්‍රික මාදැල් කර්මාන්තය තහනම් කරනවා නම් එමගින් යැපුනු ධීවරයන්ගේ ජීවන උපාය සදහා ක්‍රමයක් සකසා දීම රජයේ වගකීමකි. පැරණි මාදැල් ක්‍රමයට වර්තමානයේ යා නොහැකිව ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයට මාදැල ඇදීමට අවශ්‍ය ධීවර පිරිස් සපයා ගැනීමේ ගැටලුවයි. එනිසා මුහුදත්, කර්මාන්තයන්, යැපෙන ජනතාවත් සුරැකෙන පිලිවෙතක් රජය විසින් පෙන්නා දිය යුතුය ඒ වෙනුවෙන් ජනතාවට පහසුකම් සකසා දිය යුතුය. එසේ යෝජනා නොකරන්නේ නම් උද්ඝෝෂකයින් විසින් එම විසදුම ගෙනඒමටද සූදානම් විය යුතුය. එයට හේතුව වන්නේ සියලු දෙනා එක්ව ස්වභාවික පරිසරය රැක ගත යුත්තේ මනුෂ්‍ය සංහතිය  හා මතු පරපුර වෙනුවෙන්ය. 

දොස්තර වර්ජනය අඛන්ඩ උද්ඝෝෂණයකට 

දොස්තරවරුන් විසින් ආරම්භ කරන ලද දින දෙකක සංකේත වර්ජනයෙන් පසුව ඔවුන් අකුරට වැඩ කිරීමේ අඛන්ඩ උද්ඝෝෂණ වටයක් ක්‍රියාත්මක කරමින් පවතී. නමුත් අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය ඉතාම පහත් මට්ටමක පවතී. ඔහු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග  සාකච්ඡාවකට පැමිනීමට මැලිකම දක්වන අතර, මාධ්‍ය සාකච්ඡාවන්හිදී වීරවික්‍රම චරිතයක් රගපාමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.. නමුත් වෛද්‍යවරුන්ගේ ක්‍රියාමාර්ගය නිසා දස දහස් ගණන් රෝගී ජනතාව මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රමානුකූලව දෙදරීමකට පත් කරමින් ඇති බව පෙනේ. විශේෂයෙන්ම දොස්තරවරුන්ගේ උද්ඝෝෂණය මෙයට වඩා අර්ථාන්විත මාවතකට හා නව ක්‍රමවේදයකට ගමන් කළ යුතුව පවතී. පැරණි තාලයේ උද්ඝෝෂණ හා වර්ජන දැවැන්ත සුබසාධන සේවාවක් ලෙස පවතින සෞඛ්‍ය සේවාවට යෙදවීමේදී සිදු වන්නේ දිනක් දෙකකට වඩා එය ඇදී යනවා නම් එම සේවාවන් මුලු මනින්ම බිදවැටී ජනතාව අසරන තත්වයට පත්වීමයි. එවැනි තත්වයක් 88 වකවානුවේ මතුවූ දේශප්‍රේමි වැඩබිම් සටන් ව්‍යාපාරය කාලපරිච්ඡේදයේය.  එහි මුලු වාසිය ගමන් කලේ පුද්ගලික රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙනි. ජනතාවට සේවාව සලසා දිය නොහැකි නම් හැකි තැනක ඇති හැකි අය ගමන් කරන අතර අනෙක් අය මග මැරෙන හෝ ආයුර්වේදය හරහා ගමන් කිරීමට පෙලඹෙනු ඇත. විශේෂයෙන් අතුරු වෛද්‍ය සේවාවන්වල නිලධාරින්ට වර්ජන ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටියත් මේ වනවිට සාකච්ඡා විසදුම් වලට ගමන් කරමින් ඇත. ඔවුන් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එකගතාවයකට පැමිණීමේන් අබලන් වූ යන්ත්‍ර පසෙක තබා ගනිමින් සේවාවන් පවත්වා ගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. දැනටමත් සෞඛ්‍ය අංශයට අදාලව නිකුත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් යටතේ තාක්ෂනික අංශ පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර තත්වයට පත් කිරීමට ගමන් කිරීමට සූදානමක් පවතී. ඒ ගැන දොස්තරවරුන් කිසිවක් ප්‍රකාශ නොකරන්නේ සේවාවන් පුද්ගලික අංශයට ගමන් කළ පසුව ඔවුන්ට වඩා හොද තත්වයක් උදාවනු ඇතැයි යන මිත්‍යා විශ්වාසයද සමගය. නමුත් සෞඛ්‍ය සේවයේ බිද වැටීම ජනතාවට හිමිව පැවති රාජ්‍ය සම්පතක් අහිමිවී යාමක් බවට ගැහීමක් වෛද්‍යවරුන්ට නොදැනීම අභාග්‍ය සම්පන්න තත්වයකි. ඔවුන් සටන් කරන්නේ වැටුප් ප්‍රශ්ණයකට නොව ක්‍රමවේද සකසා ගැනීමේ ප්‍රශ්ණයකට වන බැවින් දුරදිග විමසා බැලමින් සටන් කළ  යුතුය. 

සංඝරත්නයෙන් ආණ්ඩුවට හිරිහැර.

ලාංකික සංස්කෘතියත් සමග බැදී පවතින ආගමික සමාජ සම්බන්ධය ඉන්දියාවේ මෝදි අගමැති තුමා හොදින් දනී. ඔහුට දකුනේ ප්‍රාන්ත වලින් කච්චතිව් නැවත පවරා ගැනීම, පළාතේ සභා ඡන්දය තබා වැඩි බලතල උතුරු නැගෙනහිරට ලබා ගැනීම ආදී දහසකුත් බලපෑම් එල්ලවෙමින් තිබියදීත්  අනුර කුමාර ජනාධිපති මුණගැසුනි විට ඔහුට ලබාදුන් අගනා ත්‍යාගය වන්නේ සර්වඥ ධාතුන්වහන්සේලා ලංකාවට වැඩමවා වැදපුදා ගැනීමට අවස්ථාව සලසා දීමයි. එයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක පොදිකමින් පොලිම් ගැසෙමින් ගංගාරාමයට ඇදෙන විට ත්‍රිකුණාමලය බුදුපිලිම සිද්ධියක් මුල් කර ගෙන බෞද්ධ භික්ෂුවක් ඇප ලබා ගැනීමට නොහැකිව හිරගෙදර පසුවීම අමතකවේ. එපමණක් නොව එම හිමි නමට දානය වැලදීමට අවශ්‍ය පහසුකම් සලසා නොදුන් බවටද අධිකරණයේ සැලවීම බෞද්ධයන්ගේ සිත්සතන් වේදනාවට පත් කරයි.  ඒත් බෞද්ධ ජනතාව කල්පනා කරන්නේ රජය බුද්ධ ධර්මයට හානියක් වන ආකාරයෙන් කටයුතු නොකරන බවය. එබැවින් සංඝයා වහන්සේලාගේ 8000ක උද්ඝෝෂණයක් විපක්යේ ඇතැම් පිරිස් විසින් සංවිධානය කරන බව ප්‍රකාශ වී තිබුණත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයත් සමග එවා ගාසාගෙන ගොස් ඇත. එසේ වුවත් මේවාට නැවත පනපෙවී ඉදිරියට පැමිනීමට ඇති හැකියාව අමත නොකල යුතුය. එබැවින් අත් අඩංගුවට ගත් කස්සප හිමි නම ඇතුලු පිරිස දිගින් දිගට අත් අඩංගුවේ තබා ගැනීමට රජය පියවර ගැනීම පෙන්නුම් කරන්නේ, ජේසුතුමාට ඇනගැසූ දාවිත් රජතුමා අත් සෝදාගත් ආකාරයයි. කස්සප හිමිගේ ප්‍රශ්ණය අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා රජය පොලිසියට අධිකරණයට ඇගිලි නොගසමින් විනිවිද බවින් කටයුතු කරනබව ශුද්ධවන්ත ලෙස බලධාරින් ප්‍රකාශ කලත් ඇත්ත තත්වය කුමක්ද? රජය කියන්නේ පොලිසි, හිරගෙවල්, උසාවි හා  නිලධාරි කට්ටුවකි. ඒ බව මාක්ස්වාදී සාහිත්‍ය යෙන්  හා පංති 5දීත් වර්තමාන නායකයින් ඉගෙන ගෙන ඇති පාඩම්ය.  රාජ්‍යයට දේශපාලන බලය ආරෝපනය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලය හා රජා වෙනුවට ජනාධිපති සමගින්ය.  එනිසා මේක අරයගෙ හෝ මෙයාගේ වැඩක් ලෙස අතසෝදා ගැනීමට රජයට  හැකියාවක් නැත. අසාධාරණ ලෙස දීර්ඝ ලෙස අත්අඩංගුවේ කෙනෙකු රදවා ගෙන සිටිනවා නම් විශේෂයෙන් ආගමික නායකයෙක් වන අයෙකු  වීරයෙක් කිරීමට වඩා ඔහුට ඇප ලබාදීම වෙනුවෙන් විධායකය යම් පියවර ගත යුතුය. ගත හැකිය. එය  පොලිසිය ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අධිකරණයේ ප්‍රකාශ කිරීම ප්‍රමානවත්ය.  එම දැනුම්දීම පොලිස්පති අදාල පොලිස් ස්ථානයට දැනුවත් කල හැකිය. එය සිදු නොකරන්නේ වෙනත් දේශපාලන වාසියක් බලාගෙනද යන සැකය ජනතාව තුල මතුවෙමින් තිබේ. 

පළාත් සභා කල්යයි.  සමුපකාර ඡන්දයෙන් ජනමතය 

දිත්වා කුනාටුවට පින්සිදු වන්න පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට ආණ්ඩුවට අනගි අවස්ථාවක් මතුව තිබේ. මේ හේතුව නිසා ජන මතයේ වෙනස්වීම නිසි ලෙස පොදු ජනතාවට දැක බල ගැනීමේ අවස්ථාව අහිමි වෙමින් තිබේ. විශේෂයෙන්ම වර්තමාන රජය බලයට පත් කිරීමේදී නිසි කලට වේලාවට ඡන්ද පැවැත්වීම හා ඒ සදහා පහසුකම් සලසාදීම වැනි කරුණුද ජනතාව සැලකිල්ලට ගත් කරුණුය. ඒ අනුව දැනට මහ මැතිවරණය පළාත් පාලන මැතිවරණ ආදිය පැවැත්වුවත් පළාත‍් සභා ඡන්දය කල් දැමීම නිසා ජනමතය වෙනස්වීම දැක ගැනීමට ඇති මාවත හා අයිතිය යටපත් කර තිබේ. මේ සදහා ඡනතාව වෙනත් දෙසකින් ගමන් කරන බව පෙනේ. ඒ සදහා සමූපාකාර ඡන්දය උපයෝගී කර ගනිමින් සිටී. වයඹ පළාතේ පැවැත්වූ බොහෝ සමූපකාර ඡන්ද ජාතික ජනබලවේග ආණ්ඩුවේ අපේක්ෂකයින් පරාජය කරමින් තිබේ. ජනාධිපතිවරයාගේ නිජ බිම වූ තඹුත්තේගමින්ද එම පුවතම අසන්නට ලැබෙමින් තිබේ. එසේම දකුණු පලාතේ සමූපකාර ඡන්ද බොහොමයක් ජා.ජ.බ. කණ්ඩායම් දිනා ඇති බවද වාර්තා වේ. මෙයින් පෙන්නුම් කරන්නේ පවතින ආණ්ඩුවට ඇති විරෝධකාවය ප්‍රාදේශීයව මෙවැනි ඡන්ද වලදී එකතු වන බවය. නමුත් එයින් ආණ්ඩුව ජනතා බිමෙන් සම්පූර්ණයෙන් බිදී යාමක් සිදු වී ඇති බවක් තෙරුම් නොගත යුතුය. ඡනතා ඡන්දය අවස්ථාවෙන් අවස්ථාවට විවිධ ස්වරූප ගනිමින් ගමන් කරයි. යුද්ධය හා රට ගලවා ගැනීම යන කරුණු මත මහින්දගේ සදාකල් ජයග්‍රාහී ජන පදනමක් පැවතුනි. නමුත් 2015 ඡන මතයේදී එය කනපිට පෙරලුනි. නැවත 2019 බලය අත්පත් කර ගත්තත් 2021 වන විට ජනතාව ඡන්දයෙන් නොව පාරට පැමිණ සටනකින් ආණ්ඩුව එලවා දැමූ ආකාරය මතකය. එබැවින් ඡන්ද තැබීම රජයට ගුණදායක මෙන්ම ජන මතය මැන ගැනීමට ජනතාවට ඇති අයිතියටද ගරු කිරීමට රජයේ සැලකිල්ල යොමු විය යුතුවේ.  

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ඉබි ගමනේ.

පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, ජනාධිපති ධූරය අහෝසි කිරීම, පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීම, ලාංකික ජාතියක් ගොඩනැගීමේ පදනම සැකසීම, මානවහිමිකම් නිතිරීති වැඩිදියුණු කිරීම ආදි කරුණු රාශියක් යහපත් අයුරින් එකගතාවයෙන් ඇති කර ගැනීම අවශ්‍යවේ. විශේෂයෙන්ම 1978 ජේ.ආර් ගේ .නව ලිබරල් ආර්ථික ක්‍රමය නිර්ධය ලෙස ක්‍රියාත්මක කිරීම සදහා යොදා ගත් ව්‍යවස්ථාදායක බොනපාට්වාදී උපාය දැන් යල් පැන ගොස්ය. එපමණක් නොව ඔවුන් දෙව් ලොවක් ලෙස සැලකූ නව ලිබරල්වාදය ලොව පුරා කුණුකූඩයට ඇද දමමින් තිබේ. අධිපති රාජ්‍යයන් යුද්ධය හා ආධිපත්‍ය ඔවුන්ගේ මාවත බව ලොවට පෙන්වමින් ඇති අදුරු යුගයක හැඩරුව අත්දැකීමට හැකිවී තිබේ. එනිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම කල් දමන ප්‍රමාණයට එය මේ ආණ්ඩුවෙන්ද නොකොරන වෙදකමක් බවට පත්වීමට ඉඩකඩ පවතී.  විශේෂයෙන් ජේ.ආර්.ගේ ජනාධිපති ධූරයේ හිමිකම ලබා ගත් කිසිවෙකුට එය අත්හැරීමට කැමැත්තක් ඇති නොවේ. යම් තරමකට හෝ අත්හැරීමක් සිදු කලා නම් රනිල්ගේ බල තෘෂ්නාවේ බලපෑමද සමග සිරිසේන ජනාධිපතිතුමා පමණය. ඒවෙනුවෙන් ද ඔහුට කෝටි ගණනින් වන්දි ගෙවීමට සිදුවූ ආකාරය දැක ගත හැකිය. එබැවින් ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් හැදීම වාමගාමිව කළ හැකි වුයේ කොල්වින්ටය. එදා පැවති තත්වය අනුව සිරිමා මැතිනියද නම්මා ගත හැකි විය. ජේ.ආර්. කලේ එහි කනපිටය. එබැවින් ජේ.ආර්.ගේ පිටේ නැග තවදුරක් යනවාද එසේ නැත්නම් එම බුරුවා අතහැර වෙනත් මගක් ගන්නවාද යන්න වර්තමාන ජනාධිපති ගත යුතු තීරණයකි. එය පහු කරන තරමටම වැඩේ කොහුවී වෙනත් නරුමයෙක් බූරුවා පිටට පැනගත හැකි වනු ඇත. 

දිත්වා ප්‍රහාරය නොතකා ආණ්ඩුව පෙරට. 

පසුගිය වසරක සියලුම ගණන් ඉලක්කම් සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ බොහෝ කේෂත්‍රවල ආධායම් වාර්තා ඉක්මවා යමින් ඇති බවය. ආණ්ඩුව මුදල් එකතු කිරීම වේගයෙන් සිදු කරන අතර රාජ්‍ය වියදම් කලමනාකරණය ප්‍රශස්ථ ලෙස පවත්වා ගෙන යන බවය. වංචාව දූෂණ හා අල්ලස අවම කිරීම යහපත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, වෙලද පොල ක්‍රියාත්මකවීමද හොදින් පෙන්නුම් කරයි. එපමණක් නොව මහ බැංකු අධිපති පවසන ආකාරයට මේ වසරේදීද 5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යා හැකි බව පෙන්නුම් කර දෙයි.  එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිචාරයන් අනුවද ඔවුන්ගේ සැලැස්මට අනුව ණය එකතු කර දීමේ සද්පරමාර්ථයෙන් ආණ්ඩුවේ ගමන ගැන ප්‍රසාංසා ලැබෙමින් පවතී. එසේම සියලුව කේෂ්ත්‍රවල වැටුප්, විශ්‍රාම, දීමනා ආදිය වැඩි කර ඇති අතර, විශේෂයෙන් වතු කම්කරු වැටුප වැඩි කිරීම වසර ගණනාවක් තිස්සේ කිසිවෙකුටත් විසදා ගත නොහැකි වූ ගැටලුවකි. නව රජය භාණ්ඩාගාරයට අත පොවා හෝ වතු කම්කරුවන්ගේ දීමනාව ලබාදීම පැසසිය යුතුය. මෙතෙක් පැවති රජයන් සිදු කලේ වත්ත බද්දට දී ඇස්සට දතනියවීම වැනි වැඩය. කොම්පැනි හාම්පුතුනගේ තීරණයන්ට අවසානයේ යටත් වෙමින් වතු කම්කරු වැටුප හකුලා ගැනීම පසුගිය කාලය පුර සිදු විය.  වර්තමාන ආණ්ඩුව සමාගම්කරුවන් සමග සාකච්ඡා කළ අතර, ඔවුන්ට ලබා දිය නොහැකි ප්‍රමාණය රජයෙන් හෝ ලබා දෙමින් එම ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම රජයේ උත්සහයක්  බවට පත් කර ගැනීම උදාර පියවරකි. මෙහි වතු හිමිකරුවන් කම්කරු වැටුප ගෙවීමට නොහැකි නම් ආපසු වතු පාලනය ආපසු රජයට ලබා ගත යුතුව තිබුනි. එය දැවැන්ත දේශපාලන පියවරක් වන අතර, දැනට පවතින බොහෝ නවලිබරල් සම්මුති දෙදරා යන අතර ආණ්ඩුවද අනතුරකට  පත්වීමෙ ගැන වර්තමාන ආණ්ඩුවට අවබෝධයක් ඇති නිසා වත්තත් බේරගෙන, ඇස්සත් බේරා ගැනීම සදහා රාජ්‍ය බිස්සට අතදමා වතු කම්කරු වැටුප් ගැටලුවට තාවකාලික පිලියමක් උවද යෙදීම ඥානවන්ත පියවරකි.  නමුත් මෙය දිගට කළ හැකි දෙයක් නොවන අතර, ඉදිරි පියවරයන් ගැනද සැලැස්මක් හදාගත යුතුව ඇත. 

පොදු දේපොල අයිතිය රාජ්‍ය සමාගම් යටතට. 

පසුගිය රජයන්ට මෙන්ම වර්තමාන රජයටද  රාජ්‍ය දේපොල පුද්ගලීකරණය කිරීමට ජා.මු.අ. හා ලෝක බංකුව විසින් බලපෑම් සිදු කිරීම සැවොම දන්නා කරුණකි. නමුත් රජය ලබාදී ඇති පිලිතුර වන්නේ රාජ්‍ය සමාගම් පිහිටුවාලීමයි. එසේම රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර සදහා ආයෝජන අවස්ථාවන් ඇති කර දීමයි. එබැවින් එදා පුද්ගලීකරණ පිලිබදව පැන නැගුනු ප්‍රශ්ණය රාජ්‍ය සමාගම් පිහිටුවමින් වෙනත් මගකට හරවා ඇත. නමුත් එමගින් ඉදිරියේදී රාජ්‍ය දේපොල පුද්ගලිකරණය දෙසට විවර කිරීමේ අනතුරද මෙහි ඇතුලත්ව පවතී.  මේ මොහොතේ එකවිට සියල්ල කල නොහැකි බැවින්, පළමුව ණය බරයෙන් ගැලවීම හා ජනතාවට අවම පීඩනයක් වෙන ලෙස රාජ්‍ය පවත්වා ගෙන යාම වැනි පියවරයන්ද, විදේශයන් සමග ගනුදෙනුවේදී විශ්වාසද තබා ගැනීම වර්තමාන ආණ්ඩුවේ පිලිවෙත වී තිබේ. එය රනිල් රාජපක්ෂ ගත් පියවරට වඩා දහස් ගුණයකින් ඉදිරි පියවරකි. ආර්ථික මධ්‍යස්ථාන වලද නව රාජ්‍ය සමාගම් පිහිටුවීම සිදු කරන බවද අමාත්‍යවරයා විරෝධතා නොතකා පෙන්නුම් කරයි. ඇත්තවශයෙන්ම එවැනි ස්ථානවල එම වෙලදුන්නේ සහභාගිත්වය සහිත සමූපකාර පදනමකට  රජයද සම්බන්ධ වෙමින් යොදා ගත හැකිනම් එවා අනාගතයේදීද පුද්ගලික අංශයට විකුණා දැමීමේ අනතුර වියැකී යනු ඇත. එවැනි ජනතාවාදී දිගුකාලීන ක්‍රමවේද රජය සැලකිල්ලට ගත යුතුව පවති. 

මෙතැනින් කොයිබටද? 

ජනතාව රටත් ජනතාවත් බංකොලොත් කල අන්ත ප්‍රතිගාමිත්වය පරාජය කර නව රජයක් පිහිටුවීම තුලින් තාවකාලිකව හෝ අස්වැසිල්ලක සිටී. නව ලිබරල්වාදී ජා.මු.අ. මකරා රටත් ජනතාවත් හපකර ඔවුන්ගේ කොලනියක් බවට පත් කර ගැනීමට මංපෙත් විවර කර ගැනීමට බලා සිටී.  ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ඍජු ලෙස ගැටී රටත් ජනතාවත් තවත් අසරණ අඩියකට පත් කරනවාද නැතහොත් මෙතැනින් නැගිට තාවකාලික ඉඩකඩක් ගන්නවාද යන වඩාත් පහසු පියවරට ජජාබ රජය ගමන් කර ඇත. ඒ අනුව එක් අතකින් ජා.මු.අ. ද අනෙක් අතින් ට්‍රම්ප්ගේ පිස්සු බදු ප්‍රතිපත්තියද අනුව දෝලනය වෙමින් රජයට කටයුතු කරන්නට සිදුවී තිබේ. ඒ අතරතුර දිත්වා කුනාටු ප්‍රහාරයද එල්ලවීමත් සමග ආර්ථිකය නගා සිටුවීම දැවැන්ත කර්තව්‍යයකි. ඒ සදහා රජය පසුගිය වසරේ වැය කිරීමට නොහැකි වූ ඉතිරි මුදල් රුපියල් කෝටි 500ක් වියදම් කරමින් ජනතා ක්‍රියාකාරිත්වයක් ඇතිකර තිබේ.  වෙලදපොලට මුදල් ගලා ඒමත් සමග 2024 2% පැවති උද්ධමන ඉලක්කම මේ වනවිට 2.7% දක්වා  වැඩිවී තිබේ. එය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහලයාම නිසා ජනතාවට දැනෙන්ට පටන් ගෙන තිබේ. පවතින ආණ්ඩු විරෝධය හා ආර්ථික අහේනිය පාවිච්චි කරමින් විපක්ෂය දක්ෂිනාංශික එකමුතුවක් ලෙස බල ව්‍යාපෘතියක් ගෙන යාමට උත්සාහ ගනිමින් සිටි. නමුත් තවමත් සජිත්, රනිල්, නාමල් එක ගොඩකට ගැනීමට නොහැකිවී ඇති බැවින් පොරපිටියේ වීරයා ලෙස සියලු කුනු කන්දල් ඇදගෙන යාමට සජිත්ට විපක්ෂ නායක ලෙස සිදුවී තිබේ. ජනතා බිමේ සිටින ප්‍රතිශීලී දේශපාලන දහරාව විපක්ෂයේ කෙරුවාව ගැන දන්නා නිසා ඔවුන් වෙත ඇදී යාමක් නොවුනත් වර්තමාන ආණ්ඩුව ජනතාව අතර අසාර්ථක තත්වයට පත්වෙනවා නම් එතැනින් ඉදිරියට ගමන් කිරීමට මාර්ගයක් පෙන්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍ය ඉතිරිවී තිබේ. ඒ සදහා ජන පවුරක් ගොඩනැගීම පිලිබද අදහස අප විසින් ඉදිරි පත් කරන ලද අතර ආණ්ඩුව එය මගහරිමින් සිටින අතර ජනතාව අතරින් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. සමාජවාදී ජනතා පෙරමුණ තුලද යම් ගොනුවීමක් දක්නට ඇත. එසේම මැද මාවතක් සොයාගත ගැනීමට යන සජිත්ගේ ප්‍රතිරාවය පිලිබදව වාමාංශිකයින්ට කුහුලක් නොමැති වුවත් බිදවැටෙමින් පවතින නව ලිබරල්වාදයට මුහුණදීමට මැද මාවතක දේශපාලනය ප්‍රමාණවත් නොවන බව ලොවපුරා සිදුවීම් වලින් පෙන්නුම් කරයි. එවැනි ලක්ෂනයක් මැන බැලිය හැක්කේ ඡන්දයක් තුලිනි. ජනතාවාදී කදවුර තුලද මැදමාවතක් සොයා ගැනීමේ උවමනාව සැරිසරන අතර එය අවසන් වන්නේ දක්ෂිනාංශික ගොනුවක් බව ජනතාවට තේරුම් ගැනීම අපහසු නොවේ.  එපමණක් නොව විප්ලවකාරි කැරලිකාරි මාවත් ගැන කථා කරන වාමාංශික දහරාවන්ද මතුවෙමින් තිබේ. නමුත් ඒ කිසිවකටත් ජනතා පවුරක හැඩගැස්මක් ගැනීමට නොහැකි වී ඇත්තේ තවමත් වමට ඡන්දය දුන් ජනතාව එතැනින් ගැලවී ඉදිරියට ගමන් කිරීමේ මාවතට පිවිස නොමැති බැවිනි.  ජන පවුරක් ගොඩනැගීම සදහා ඉදිරියේදී පුලුල් ඉඩකඩක් මතුවෙන අතර එය සමාජවාදී පෙරමුණ තුලින් මතුවේද එසේත් නොමැති නම් ඊට පිටින් ජනතාවගේ පෙල ගැස්ම දක්ෂිනාංශික නොවන මාවතකට ගමන් කරයිද යන්න ගැන විමසිලිමත් විය යුතුය. 

Loading