දෙවන ලෝක යුද්ධයේදී ජපන් ආක්‍රමණයට එරෙහිව චීනය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය චීනය පුරා අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ලංකාවේ මෙම උත්සව චීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් අගෝස්තු 20 වෙනි දින පැවැත්වූ අතර, කොමියුනිස්ට් පක්ෂය හා අනිකුත් පක්ෂ සහභාගිත්වයෙන් එම උත්සවය අගෝස්තු 26 වෙනු දින බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුනි. මෙම සංවත්සරය දෙවන ලෝක සංග්‍රාමයේදී මිලියන ගනනක ජීවිත රැසක් බිලිගත් යුද්ධය ජය ගැනීමට චීන ජනතාවගේ අසමසම කැපවීම සහ සාමය සඳහා වූ දැඩි අධිෂ්ඨානය සිහිපත් කරවයි.
චීන ජනතා විමුක්ති හමුදාවේ දැවැන්ත හමුදා පෙළපාලියක් බීජිංහි ටියනන්මන් චතුරශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදී නවීනතම යුධ උපකරණ සහ හමුදා ශක්තිය ලොවට ප්‍රදර්ශනය කෙරිණි. ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු රාජ්‍ය නායකයින්, සෙබළුන් සහ රට පුරා ජනතාව මෙම උත්සවයට එක් වූහ. මෙම සැමරුම් උළෙල පැවතියේ ඉතිහාසයට ගරු කිරීම, දිවි පිදූවන් සිහි කිරීම, සාමය සුරැකීම සහ මානව ඉරණම පිළිබඳ පොදු අනාගතයක් ගොඩනැගීම යන තේමාවන් යටතේ ය.
චීන ජනතාවට එරෙහි යුද්ධය 1937 සිට 1945 දක්වා වසර අටක් පුරා පැවතුණද, ජපානයේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් 1931 දී මන්චූරියාව ආක්‍රමණය කිරීමත් සමඟ ආරම්භ විය. වසර 14ක් පුරා පැවති මෙම දැවැන්ත අරගලයේදී චීනයට සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් වශයෙන් මිලියන 35කට අධික සංඛ්‍යාවක් අහිමි විය. මෙම යුද්ධය නූතන චීනයේ ඉතිහාසයේ දීප්තිමත් අධ්‍යායයක් ලෙස සැලකෙන අතර, එය චීන ජනතාවගේ ජාතික විමුක්ති අරගලයේ තීරණාත්මක ජයග්‍රහණයක් විය.
දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය සටනේදී චීනය නැගෙනහිර ප්‍රධාන යුධ පිටිය විය. චීන ජනතාව ජපන් ආක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ලෙස සටන් කළ අතර, ඔවුන්ගේ සතුරා පරාජය කිරීමේ මැදිහත්වීම මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය. විශේෂයෙන්ම නැන්ජිං සමූල ඝාතනය වැනි අමානුෂික සිදුවීම් හරහා ජපන් හමුදා සිදුකළ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව තවමත් චීන ජනතාව අතර දැඩි මතකයක් පවතී.
මෙම සැමරුම චීනයේ ජාතික හැඟීම තහවුරු කිරීමක් ලෙසත්, ලෝකයට සාමයේ පණිවිඩයක් ලබා දීමක් ලෙසත් සැලකිය හැකිය. ජනාධිපති ෂී ජින්පින් මහතා සිය කතාවේදී පැවසුවේ “අපි ඉතිහාසය සිහිපත් කරන්නේ වෛරය වපුරන්නට නොව, අතීතයේ දුක්ඛදායක සිදුවීම්වලින් පාඩම් උගෙන, යළි එවැනි ඛේදවාචකයක් ඇතිවීම වළක්වා ගැනීමටයි” යනුවෙනි.
මෙම 80 වන සංවත්සරය හුදෙක් අතීතය සිහි කිරීමක් පමණක් නොව, ලෝක සාමය සහ මානව වර්ගයාගේ යහපත උදෙසා අනාගතයේදී කටයුතු කිරීමට චීනයේ අධිෂ්ඨානය ප්‍රකාශ කිරීමකි. යුද්ධයේ අඳුරු අතීතයෙන් පාඩම් උගනිමින්, වඩා සාමකාමී, සමෘද්ධිමත් සහ සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා චීනය කැපවන බව මෙම සැමරුමෙන් පෙන්වා දුන්නේය.