ජාජබ රජය සැමට විශ්‍රාම වැටුපක් සලසයිද?

ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ජීවත්වන සැමට මහලු විය ගත කිරීමේදී ඔහු සමාජයට සැලසූ සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සලසාදීම අත්‍යවශ්‍යය. එපමණක් නොවන සමාජ සේවාවක් සැලසිය නොහැකි වූ ආබාධිත හා දුබලයන්ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහනාධාර වැඩපිලිවෙලක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. එනිසා ලෝකය පිලිගත් මතය විී ඇත්තේ “සැමට විශ්‍රාම වැටුපක්” යන්නයි. 

කරුණු මෙසේ වුවත් වර්තමාන රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.  එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.  රජයේ මතය වී ඇත්තේ මන්ත්‍රිවරුන් සමාජ සේවාවක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතු නිසා වරප්‍රසාද අහිමි කළ යුතු බවය. ඒ පිලිබදව ජජාබ මැතිවරණ ප්‍රකාශයේද ඉදිරිපත් කර ඇති බව සදහන්වේ.   එහෙත් රාජ්‍ය බලය ලැබුණු පසුව කටයුතු කිරීමේදී ලෝකයේ පවතින සම්මුතියන් හා සදාචාරාත්මක ගුණධර්මයන් අනුව කටයුතු කිරීම පාලකයින්ගේ වගකීමය. එසේ නොමතිව තමන්ට නැති දේ අනිකාටත් අහිමි කල යුතුය යන ක්‍රෝධ සිතුවිල්ලෙන් පොදු ජනතාව සැනසීමට බලාපොරොත්තු වන්නේ නම් එය තාවකාලික සුවයකි. 

ඇත්තෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප සැකසීමේදී ගනු ලැබූ විධිවිධාන හා අකටයුතු තත්වයන් පවති. විශේෂයෙන් රජයේ සේවයේ වසර 10ක අවම සේවයක් සැලසිය යුතු අයෙකුට ලැබෙන විශ්‍රාම අයිතිය වසර 5ක පාර්ලිමේන්තු කාලයකට ලබාදීම නුසුදුසුය. එසේ නම් රජයේ සේවකයින් සදහාද වසර 5 අනුග්‍රහය ලබාදීමට රජය විධිවිධාන ගෙනආ යුතුය. නැත‍හොත් එවැනි අඩු කාලයක සේවයේ යෙදෙන රජයේ සේවකයින්ට තිබෙන පරිදි වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. නැතහොත් පුද්ගලික අංශයේ සේවකයන් සඳහා සකසා ඇති අර්ථසාධක ක්‍රමය වැනි දෙයකට යොමු විය යුතුය. එසේ විය යුත්තේ සියලු දෙනාම මහලු වියට පත්වීම, අසනීප වීම, මරණයට පත්වූ විට යැපෙන්නන්ට සිදුවන විපත සමාජයක් ලෙස සැලකිල්ලට ගැනීමෙනි.  එනිසා සිදු කල යුත්තේ තිබෙන දෙය අහෝසි කිරීම නොව ගැලපෙන ලෙස නීතිරීති වෙනස් කිරීමය.

ජාජාබ රජය පුර්ණ වාමාංශික පිලිවෙතක් අනුගමනය කරනු නොලැබුවත්, ඔවුන් පූර්ණ ලෙසම නවලිබරල්වාදී සියලු පිලිවෙත් එලෙසම අනුගමනය නොකරන බව පසුගිය වසර පුරා දැක්වූ ප්‍රතිඵලයන්ගෙන් පෙන්නුම් කරයි. එනිසා රජය සූදානම් විය යුත්තේ ඉපදුනු සැම කෙනෙකුටම අධ්‍යාපනයක්, නිවාසයක්, රැකියාවක් හා මහලු විය රැකවරණයක් සලසා දීම වෙනුවෙනි. එවැන්නක් සදහා අරමුදලක් පිහිටුවීමට මන්ත්‍රි විශ්‍රාම වැටුපෙන් කොටසක් ගෙන හෝ ආරම්භයක් කල හැකිව තිබුනි.

අනෙක මැතිවරණයේදී ජනාධිපති තනතුර අහෝසි කිරීමට පොරොන්දුව සිටින අයම ජනාධිපති විශ්‍රාම වැටුප බේරා තබා මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කිරීම සමාජයට පෙන්වන්නේ කුමක්ද? වැඩකරන්නේ ජනාධිපති පමණක් බවද? ඔහුට වසර 5න් විශ්‍රාම වැටුප හිමිකරදීම නිවැරදිද? එනිසා මෙය ආපසු දුරදිගට විග්‍රහ කර බලන්නේ නම් පෙනී යන්නේ ජේ.ආර්. එලු දැලේම අනුර ජනපති ඇතුලු ජජාබ රජය පැටලී ඇති බවය. එනිසා ජේ.ආර්.ගේ මැතිවරණ ක්‍රමය අනුව ගොවි කම්කරු නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණීමට පැවති ඉඩකඩ වර්තමාන මැතිවරණ ක්‍රමය තුල අහෝසි කර ඇති හැකි අයට හා ව්‍යාපාරික ප්‍රභුවරුන්ට දේශපාන අයිතිය පවරා දුන් ක්‍රමයක් එලෙසම තබාගෙන සිටී. 

මෙවර මැතිවරණයේදී වාමාංශික ජනබලවේගයේ රැල්ලෙන් ඉහලට එසවුනු ජජාබ රජය දැනට සිදු කර ගෙන යනු ලබන්නේ ජේ.ආර්. ක්‍රමය මත ලැගගෙන අත්ත කපා ගන්නා කටයුත්තකි. ඒනිසා ක්‍රමය වෙනස් කිරීමට කඩිනම් පියවර ගනිමින් කැමැත්ත අනුව විශ්‍රාම වැටුප ලබා ගැනීම හෝ නොගැනීමට ඉඩකඩ සැලසීම හා සුදුසු පරිදි මන්ත්‍රි විශ්‍රාමික නිතිරිති වෙනස් කිරීමය. එය ජනාධිපතිගේ සිට මන්ත්‍රි දක්වා සැකසිය යුතුය. වසර 5 කාලසීමාව නුසුදුසු නම් අනිකුත් රාජ්‍ය සේවකයින්ටද  වසර 5 දක්වා සේවා කාලය ගණනය කිරීමද රජයට කළ හැකි පියවරකි. 

එබැවින් මෙවැනි කටයුතු වලදී නවලිබරල් ව්‍යාපාරික නඩයේ උපදෙස් මත පමණක් නොව ජනතාවාදී සිතුම්පැතුම් පෙරදැරි කර ගෙන ලෝක ඉතිහාසයේ අත්දැකීම්ද වර්තමාන ලෝකයේ ඇගයීම්ද සැලකිල්ලට ගෙන කටයුතු කිරීම සුදුසුවේ. මෙහිදී ධනපති ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී රාජ්‍ය දෙකක අත්දැකීම් මතක් කර දිය හැකිය. එනම් උරුගුවේ ලෝක ප්‍රකට ජොසේ මුජුකාගේ විශ්‍රාම වැටුප හා සෝවියට් රුසියාවේ නිර්මාතෘ ලෙනින් සහෝදරයාගේ විශ්‍රාම වැටුප පුහුණු කම්කරුවෙකුගේ වැටුපට සමාන කර තිබීම ගැන වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අත් උස්සනවිට මතත තබාගත යුතුය.

තිලක් 

Loading

Leave a Reply