අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිබටද?

මෙහිදී මූලික විරෝධය ලෙස පෙන්නුම් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වලදී ඉතිහාසය හා සෞන්දර්යය සිසුන්ගේ කැමැත්ත මත පමණක් තෝරා ගැනීමේ ක්‍රමවේදයයි.  එම විෂයන් උසස් අධ්‍යාපනයෙන් වියෝ කර ජාතික විමුක්තිය හා ජාතික නිදහස යටපත් කිරීම මෙහි පරමාර්ථය බව ජාතිකවාදීහු පෙන්වා දෙති. 

බරපතල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට ගමන් කිරීමේදී විද්වත්, ගුරු, සිසු හා ජනතා සහය දිනාගැනීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට පවතින ඉඩකඩ විවරව තැබිය යුතුව පවතී. අප රටේ නිදහස් අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ ප්‍රකාශනයක් ලෙසද පවතී. හරිනි අගමැතිනියද අධ්‍යාපන කේෂත්‍රයේ වීදි සටන් මගින් දේශපාලන කරලියට පැමිණි විද්වතියක් වන බැවින් අධ්‍යාපනයේ සිදුවිය යුතු පරිවර්තනයන් පිලිබදව මනා අවබෝධයක් ඇයට තිබිය යුතුය.  එය ප්‍රජාතන්ත්‍රවාදී පුලුල් ජන සහභාගිත්වයකින් තොරව රජයේ හිතු මනාපයට කඩිනමින් ක්‍රියාවට නැගීම නිසා නිදහස් අධ්‍යාපනය කණපිට ගැසීමට රජය සූදානම් වන බවට ජනතා විරෝධයක් මතු වෙමින් තිබේ. 

පවතින අධ්‍යාපන ක්‍රමය නව ලෝක සංදර්භයට නොගැලපෙන බව සියලු දෙනාම පිලිගන්නා කරුණකි. විශේෂයෙන්ම උගත් තරුණ විරැකියාවට හේතුවන ඉංග්‍රිසි භාෂාව හා පරිගනක දැනුම නොමැතිවීම නිසා ගැමි තරුණයින් සමාජයේ කොන්වීයාමේ අනතුර පවතී. ජාතික ස්වභාෂා මෙන්ම ඉංග්‍රිසි භාෂාවද පලමු ශ්‍රේණියේ සිට අඛන්ඩව ඉගැන්වීම ආරම්භ කළ යුතුය. උසස් පෙලට සුදුසුකම් ලබන සෑම දරුවෙකුටම ඉංග්‍රිසිය කියවීමට, ලිවීමට මෙන්ම කථාකිරීමට මනා හැකියාවක්   නිදහස් අධ්‍යාපනයෙන් ලබා දිය යුතුය. මීට සමාන්තරව පරිගනක දැනුම හා භාවිතය පිලිබද පුහුණුවද එයට අනිවාර්යයෙන් එක් කළ යුතුව ඇත. එ් අනුව සියලුම ළමුන්ට නිදහස් අධ්‍යාපන වරම යටතේ ඔවුන්ගේ කැමැත්ත හා හැකියාව අනුව වෘත්තීය දහරාවකට ඇතුලත්ව දැනුම හා පුහුණුව ලබාදීමට යොමු කළ යුතුය.  වෘත්තීය විෂයයන් පුලුල් කර වැඩි පහසුකම් ලබා දෙමින් ඔවුන් නුපුහුණු ශ්‍රමිකයින් ලෙස රැකියාවකට යොමු කිරීම දක්වා  ශිෂ්‍යයන් හැඩගස්වා ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුලත් විය යුතුය. 

Loading