රනිල් අත්අඩංගුවට ගැනීමෙන් මුලු රටම තිගැස්සෙයි. 

බොහෝ අයගේ අදෝනාව වී ඇත්තේ මොහුට පොදු දේපල පනත යටතේ නඩු පැවරීම ගැනය. අප හිතන්නේ පොදු දේපොල පනත යටතේ මොහුට පමණක් නොව පොදු දේපොල විනාශ කල බොහෝ දේශපාලඥයින්ට අදාලව පමණක් නොව ව්‍යාපාරිකයින්ටත් අදාලව එල්ල කල යුතු චෝදනාවක් වන්නේය. මේ රටේ පොදු දේපොල වනසන ක්‍රමය හදුන්වා දුන්නේ කවුද?

රටක් ලෙස ශ්‍රී ලංකාව මහත් පරිශ්‍රමයක් දරමින් නිදහසින් පසුව ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අවශ්‍ය ආර්ථික පසුබිම සකස් කර ගැනීමට බොහෝ දේශපාලඥයින් ඇප කැපව වැඩ කටයුතු කලේය. එබැවින් නිදහසින් පසුව වසර 30කට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදී බටහිර බලවතුන්ගේ පීඩනයෙන් මිදීම සදහා ලාංකික ජනතාවටත් ප්‍රගතිශීලි දේශපාලඥයින්ටත්, විද්වතුන්ටත් විශාල පොරබැදීමක් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුකිරීමට හැකිවිය. විශේෂයෙන් සීතල යුද්ධ සමය හා දෙකට බෙදුනු ලෝකය තුල ලංකාව නොබැදි ජාතීන් සමග අත්වැල් බැදගත් රාජ්‍යයක් ලෙස සංවෘත්ත ආර්ථික ක්‍රමවේදය ඔස්සේ ජාතික ධනය සුරක්ෂා කරමින් ජනතාව අතර සාමුහිකව බෙදාහදා ගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු කෙරුණි. බොහෝ වැඩවසම් ඉඩකඩම් හා අධිරාජ්‍යවාදීන් සමග හවුලේ බෙදාගත් පුද්ගලික දේපොල හා කර්මාන්ත ජාතික ධනයන් බවට 1970 රජයෙන් පසුව පරිවර්තනය කරන ලදි. එය 1977 දක්වා දික් වූ වසර තිහක පමණ වාමගාමී ප්‍රගතිශීලි කාල පරිච්ඡේදයකි. එනිසා 76 වසරක සාපය යනු මුසාවක් මෙන්ම නව ලිබරල්වාදයෙන් ගොඩනැගුන නව පරපුර මුලාවක දමන සැහැල්ලු කථාවකි. 

පොදු දේපොල පමණක් නොව පොදු ජනතාවගේ ජීවන පැවැත්මද ගසාකෑ යුගය ආරම්භ වුයේ 1978න් පසුවය.  එය මේ වනවිට වසර 47ක් ගමන් කර ඇති අතර, ආර්ථිකයක් ජනතාවත් බංකොලොත් කර රටත් ජනතාවත් ණය උගුලක හිරකර තිබේ. මෙයට වගකිව යුතු දක්ෂිනාංශික දේශපාලන දහරාවේ ප්‍රමුඛයින් තිදෙනෙකි. එනම් ජේ.ආර්., ප්‍රේමදාස හා රනිල්ය. මොවුන්ගේ 17 අවුරුදු සාපකාරි කාලය ලෙස සැලකෙන 1994 දක්වා සිදු කලේ පොදු දේපොල කුනු කොල්ලයට තම හිතවතුන්ට භාරදීමටය. එයට විරුද්ධවන වර්ජකයන්ගේ රැකියා නැති කිරීමය. තරුණයින් ඝාතනය කිරීමය. උතුරු නැගෙනහිර අල, ලුනූ, මිරිස් ගොවියන්ගේ නැගිටීම යුද්ධයක් කර ඔවුන්ගේ පුස්තකාල ගිනිතබා ගම්බිම් විනාශ කර දැමීමය.  එම දුෂ්ඨ පරපුරේ අවසාන පුරුක ලෙස දැනට ජීවතුන් අතර සිටින දේශපාලඥයා රනිල්ය. ඔහු ජනතාවගේ ඇස්වසා පොදු දේපොල කොල්ල කෑම ගැන හොදින් ජේ.ආර්.ගෙන් ඉගෙනගත් ප්‍රාඥයෙකි. මහ මොලකරුවෙකි. එනිසා ඔහු බලයට පත්වූ විගස සිදු කරන්නේ පොදු දේපොල මංකොල්ල කෑමට අනුබල දීම හා ඒ සදහා අවශ්‍ය කූට උපායන් හා ක්‍රියාමාර්ග යෙදීමය. 

මොවුන්ගේ ගතිලක්ෂයන වන්නේ සමාජයේ ශුද්ධවන්තයින් ලෙස පෙනී සිටිමින් පැරනි තාලයෙන්  පුද්ගලිකවම දේපොල රැස් නොකරයි.  ඔවුන්ගේ කොම්පැනි හිමිකාර ප්‍රභූ පැලැන්තියේ උවමනාවන් අනුව පොදු දේපොල පුද්ගලික සමාගම්වල හිමිකාරිත්වයට පවරාදීමය. ජාතික ආර්ථිකයක් හදනවා වෙනුවට බටහිර සමාගම්වල වෙලදපොල ඒජන්තයින් ලෙස දේශපාලන බලය හසුරවයි.  ජනතාව මිරිකමින් ධනය රටින් පිටතට ගෙනයාම මොවුන්ගේ පිලිවෙතයි. ජේ.ආර්., ප්‍රේමදාස දෙදෙනාද පුද්ගලික දේපල රැස්කරනවාට වඩා සිදු කලේ ජනතාව සතු දේපොල ඔවුන්ගේ හිතමිතුරු පැලැන්තිය වෙත භාර දෙමින් විදේශයන්හි හාම්පුතුන් සමග සුරසැප විදීමය. මෙදා රනිල්ව කොටු කර ගැනීමට හැකිවී ඇත්තේ ඔහු කල සාපරාධී දහසක් ක්‍රියාවන් වෙනුවෙන් නොවේ. පුද්ගලික විදේශ ගමනකදී රජයේ මුදල් භාවිතා කල අකටයුත්තක් පිලිබදවය. ඔහු පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වී සිටි වසර දෙකක කාලය තුල නිල බලය යොදාගෙන විදේශ ගමන් කීයක් ගියාද?  ඒවාට වැය කල ජනතා දේපොල කොපමණද?  ඔහුගේ බටහිර ස්වාමීන් ඉදිරියේ පොදු දේපොල විදේශිකයින් වෙත පවරාදීමේ කොන්දේසි සකසමින් තව තවත් ණය ගෙන ඔවුන්ගේ පැලැන්තිය රජසැප විදීම හා ජනතාවග් ගෙල සිරකර දහදුක් දීම මොහුගේද පිලිවෙතයි.  

කුප්‍රකට මහබැංකු දවල් මංකොල්ලය මොහු යෙදු උපක්‍රමය වූයේ  මහ බැංකු අධිපතිකමට ඔහුගේ හිතමිතුරු විදේශිකයෙක් පත් කර ගැනීමය. මොවුන්ගේ අනුදැනුමෙන් වංචාව සිදු කිරීම. වංචාවෙන් උපයා ගත් මුදල් කොටසක් මොවුන් නායකත්වය පවතින පක්ෂය මගින් එම මන්ත්‍රිවරුන් වෙත  බෙදා දීමය. හොරකම හෙලිදරව් වූ පසුව ගැලවීම සදහා පාර්ලිමේන්තු කමිටු පත් කිරීම.  ඔහුට හිතවත් නීතිඥ කමිටු පත් කිරීම. එම වාර්තාවලට  කුඩු කෑ මන්ත්‍රිවරුන් හරහා පාද සටහන් තබා “මිස්ටර් ක්ලීන්“ නිවැරදිකරු ලෙස පෙනී සිටීම. අධිකරණයේදී චූදිතයින්ට නඩු පැවරූ පසු ඔහු රටින් පිටමං කර නැවත කිසිදු ආකාරයකින්  ගෙන්නා ගැනීමට බැරි තත්වයකට අද දක්වා පත්ව තිබීම. නමුත් ඔහුත් සමග පවතින විදේශ හිතමිතුරු කම් හා විදේශ සංචාර සදහා පහසුකම් සැලසීමේ අතයට ක්‍රමවේද මගින් ක්‍රියාත්මක වනු ඇත.  දුෂිත ලෙස මුදල් යොදවා තමන් සමග සිටින මන්ත්‍රින් හා හිතවතුන් මගින් මහජනතාවගේ ඇසට වැලිගසමින් ආණ්ඩු බලය අල්ලා ගැනීම මොවුන් පසුගිය වසර 45 තිස්සේම සිදු කලේය. එය ජනතාවට හෙලිදරව් වුයේ රට බංකොලොත්වී මහජනතාවට කන්න බොන්න නැතිව හිගන තත්වයෙන් පාරට වැටී පෝලිම්වල මැරී වැටෙන විටය. 

මෙම දක්ෂිනාංශික තුන්කට්ටුව පෙන්නා දුන් නව ලිබරල් ක්‍රමවේදයට හැඩගැසුනු ශ්‍රී ල.නි.ප. පිරිස්ද එම හොරා පොලිස් සෙල්ලමට පුරුදු විය. චන්ද්‍රිකාගේ සමගේ ජනතා දේපොල විශාල සංඛ්‍යාවක් පුද්ගලික දේපොල බවට පත් කලේය. රාජ්‍ය වැවිලිකරය සමාගම්වලට වසර 50කට බදුකරය ග්‍රාමීය පොදුජනතාවට අදටත් විපතක් වී තිබේ.   ඒවා සිදුකර ඇය විසින් විදේශ රටවල ඉඩකඩම් මිලදීගත් කරුණු පිලිබදව නොදන්නා කෙනෙක් නැත. තිස් අවුරුදු යුද්ධය මොවුන් සැමට පොදු දේපොල විකුනා කමින් සුරසැප විදීමට ලැබුණු ඉඩකඩක් විය. 

මහජනතාව බලවත් උවමනාව මත 2005දී මහින්ද බලයට ගෙන එමින් යුද්ධය නවතා ගැනීමට හා නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කල යුද්ධය නිසා දෙපාර්ශවයේම විශාල පිරිසකගේ ජීවිත අහිමි විය. එතැනින් උදා කරගත් සාමයේ ආශිර්වාදය මත ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ උවමනාවෙන් කටයුතු ආරම්භ කලත් එය  පැවතියේ කෙටි කලකි. 2010 නැවත බලයට පත්වීමත් සමග ඔහුගේ පවුලේ පිරිස හා දුෂිත ව්‍යාපාරික රැල එක්වී නැවතත් පොදු දේපොල ගසා කෑමේ ව්‍යාපෘති දියත් කලා පමණක් නොව එතෙක් පැවති ශ්‍රී ල.නි.ප. වෙනුවට පෙහොට්ටුවක් අටවා ගෙන රටම බංකොලොත් වන පිලිවෙතක් අනුගමනය කරන්නට විය. ඒ පිලිබදව වාමාංශික පක්ෂ නායකයින් විසින්  පෙන්නා දෙන විටදී එකිනෙකා අතර බේද මතු කර  බෙදා පාලනය කිරීමේ පිලිවෙත නිසා ජනතාව විසින් යහපාලනයට ඉඩකඩ ලබා දෙන ලදි. එහි මෙහෙයුම්කරු රනිල්වීම නිසා පොදු දේපොල විකුණා දැමීමේ පියවර සමග ගැටීමෙන් නැවත මහින්දගේ බලවේගයට ඉඩකඩ ලබා ගත හැකි විය.  

ගෝටාභයගේ පාලන සමය ජාතික ආර්ථිකයක් ගැන කථා කලත් පොදු දේපල රැකගෙන ඉදිරියට යාමට යාන්ත්‍රික පිලිවෙතක් අනුගමනය කිරීමට යාමත් සමග එම පාලනය තුල අර්බුදය මතුවිය.  නැගෙනහිර ජැටිය විකුණා දැමීමට සූදානම් වීමත්, ද්‍රව වායු සපයා ගැනීමේ මුවාවෙන් විදුලිබලමණ්ඩලය ඇතුලු පොදු දේපොල විදේශික සමාගම් සතුකර දීමට විරුද්ධව වාසුදේව, විමල් හා ගම්මන්පිල යන අමාත්‍යවරු පෙනී සිට ජනතාවට කරුණු කියා සිටියේය. ඒ අනුව ආණ්ඩුව දෙදරායමින් පොදු ජනතා නැගිටීමක් ලෙස අරගලය මතු විය.  

සියලුදෙනා දන්නා පරිදි අරගලයට ජ.වි.පෙ, පෙරටුගාමින් පමනක් නොව සජිත් බලවේගය, රනිල් බලවේගයද විදේශ හවුල්කරුවන්ද එක්වී රාජපක්ෂ රෙජිමය පෙරලා දැමීමේ සටනක් බවට එය පත් කර ගත්තේය. අරගලයට පහරදීමත් සමග ප්‍රචන්ඩත්වය මුදාහැරීමක් සිදු වූ අතර, එය සිවිල් යුද්ධ තත්වයකට පරිවර්තනය කර ගැනීම විදේශක බලවතුන්ගේ උවමනාව විය. එමගින් ඉරාකයේ, ලිබියාවේ, බංගලිදේශයේ සිදු කළ ආකාරයට ජාතික දේශාපාලන නායකයින් ශුද්ධ කිරීම ඔවුන්ගේ  උපායට තරුණයින් පෙළඹුවේය. නමුත් හමුදාව ජනතාව සමග සිටගත් අතර, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ පියවරයන් එතැන් සිට ඇරඹුනි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු එක්ව අලුත් මාවතක් නිර්මානය කර ගැනීමට විපක්ෂ දේශපාලන පක්ෂ කථිකාවක් පැවතියත් රනිල් හා රාජපක්ෂලා  එකතු වී නැවතත් පොදු දේපොල ගසාකෑමේ පලපුරුදු සෙල්ලම පටන් ගත්තේය. 

ජා.මු.අ. මුදලේ සියලු කොන්දේසි වලට රටම යටත් කර පොදු දේපොල සියල්ල විකුණා දැමීමට ගිවිසුම් අත්සන් කර තවත් දිගු කලක් වැල්පාලමේ එල්ලී වැජඹීම ඔහුගේ හා ඔහු සමග සිටින පිරිසේ බලාපොරොත්තුව විය. රනිල් රාජපක්ෂ යුගයේ පොදු දේපොල විකුණා දැමීමට හා ජාතික ස්වාධීනත්වය විනාශ කරන අන පනත් සම්මත කරනවිට ඒ සියල්ලට විරුද්ධව වාමාංශික හා ජ.වි.පෙ.  මෙන්ම ස්වාධීන මන්ත්‍රිවරුන් එක්ව ඡන්දය පාවිච්චි කලේය.  නමුත් ඒකාබද්ධ බලයක් ජනාධිපතිවරණ වන විට සකසා ගැනීමට නොහැකිවීමේ අඩුව පැවතුන නිසා ජ.වි.පෙ. දෙවෙනි මනාපය ගැනීමේ ඉඩකඩින් බලයට පත්විය.  

මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික වෙනස්වීමකි. මෙතෙක් පැවති මැද මාවත අහෝසි වී දකුණ සමග ඈදී ගියේය. දේශපාලන දහරාවන් වම දකුන ලෙස දෙගොඩකට වෙන් විය. එහි ප්‍රථිපලය ලෙස මහ මැතිවරණයේදී අති විශාල ජන බලයක් ජාතික ජනබලවේගයට වාමගාමි ජනතාවගෙන් ලබා ගත හැකි විය. ඒ අනුව ජාතික ජනබලවේග රජය ඉතා වෙහෙසකර ගමන් මගක් ආරම්භ කර රනිල්ගේ ජ.මු.අ. සමග ගැසූ රට විකුණා දැමීමේ ගිවිසුම් අතරින් ඉදිරියට පැමිණියේය. තවමතු පොදු දේපොල විකුණා දැමීම නවතාගෙන, වියදම් කපා හරිමින්, ආදායම එකතු කර ආර්ථිකය නඩත්තු කර ගෙන ඉදිරියට යමින්ට ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරයි.  

නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවට ජා.මු.අ. ගැටය කපාගෙන එලියට ඒම ලෙහෙසි නොවේ. එනිසා ජා.මු.අ. ටිකෙන් ටික මුවාට පැනි තණකොල කවන ආකාරයෙන් පොදු දේපොල අල්ලා ගැනීම සදහා මන්ද තදකරමින් සිටී. එය දැනෙන විට වැඩකරන ජනතාව හා පොදු ජනතාව ආණ්ඩුවත් සමග කේවල් කිරීමට සූදානමින් ප්‍රශ්ණ මතු කරයි. ගොවියෝ වී වලට වැඩි මිලක් ඉල්ලයි. සේවකයින් තිබුණු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඒකරාශි වේ. නමුත් මන්දෙන් ගැලවීමට දගලන ජාතික ජනබලවේග ආණ්ඩුවට විපක්ෂයේ දක්ෂිනාංශික කණ්ඩායම් වලින් ජනතාව උද්ඝෝෂණයන්ට පොළඹවයි. ගොවියන්, කම්කරුවන් හා විවිධ ජන කණ්ඩායම් තම ඉල්ලීම් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද ඉදිරිපත් කරයි. ඒ අනුව දක්ෂිනාංශිය කඩිනමින් බලය ඩැහැ ගැනීමේ කුමන්ත්‍රකාරි තත්වයන් නිර්මානය කර ගැනීමට මානබලයි.  

හොරු ඇල්ලීමේ ජනප්‍රිය සටන්පාඨයට පොදු ජනතාවගේ විශාල අනුග්‍රහයක් ලැබූ ආණ්ඩුවට 2/3 ඉක්මවන බලයක් ලබා දෙන ලදි. නමුත් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට කඩිනමින් හොරු ඇල්ලීම ලෙහෙසි නැත. ප්‍රජාතන්ත්‍රවාදීව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ එය ගමන් කළ යුතුය. පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය ආදී ආයතනවලට එක වර දහස් ගණන් හොරු අල්ලා කුඩු කර නඩු අසා දඩුවම් කිරීමට ධාරිතාවක් හෝ හැකියාවක් නැත. එසේම දේශපාලන හොරු ඇල්ලීම මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් හා මිනිමරුවන් ඇතුලු පාතාලය මැඩලීමත්, දූෂිත බවට පත්ව ඇති රාජ්‍ය යාන්ත්‍රණය සුද්ධ කිරීමත් කර ගෙන යා යුතුය. ඒ නිසා ඒ සියල්ල සිදුවන්නේ අතරින් පතරය. 

කම්කරු ගොවි සටන් කලමනාකරණය කර ගැනීමට අමනෝඥ ලෙස සාකච්ඡා මගහැර දරදඩු වූ ඇමතිවරුන් සටන් දිග් ගැසෙන විට රනිල්ගේ හොරකම පෙරට ගෙන සමාජ මතය වෙනතකට හරවා ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් මෙහි අභ්‍යන්තරය පැලවත්ත හා සුදාගේ ගේමට වඩා එපිට යන දිසාවකි. ඇත්තෙන්ම පැලවත්තේ අයටත් එය දැනෙන්නේ තව ටිකක් ඉදිරියට ගිය විටය. ඔවුන් බලාපොරොත්තු වන ලෙස සමාජය පූර්ණ පරිවර්තනයකට ගෙනයාමට සූදානම් නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි බලය පමණක් පුමාණවත් නැත. ඒහා සමානව ජන බලය ඒකරාශි කර ගැනීම අවශ්‍යය. නමුත් එවැන්නක් පෙනෙන්නට නැත. අඩුම වශයෙන් ජනතාව පමණක් නොව ඔවුන්ගේ සමීපයන් සමගවත් දේශපාලන සාකච්ඡාවන් නොමැති ගුප්ත බවක් පවතී. එය ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හුරු නැත. ඒනිසා රනිල් අත්අඩංගුවට ගැනීමත් සමග සමාජයේ තිගැස්සිමක් පවති. 

බටහිර බලවතුන් මෙන්ම ජා.මු.අ. මුදලේ මන්ද ඇතුලේ ප්‍රතිසංස්කරණ කර ගෙන යන ආණ්ඩුවට නිරුපද්‍රිතව යා හැකි දුරක් පවතී. ජා.මු.අ. ණය වාරික දෙන විට කොන්දේසි මතක් කරමින් ණය ලබාදීම සිදු කරන අතර, එවා  ක්‍රියාත්මක කිරීම නොකෙරෙන විට ඊට විකල්ප ක්‍රියාමාර්ග පිටතින් ගනු ලබයි. ඒ සදහා දක්ෂිනාංශය මුවහත් කර තබා ගැනීම ඔවුන් යොදන පිලිවෙතයි. ඒ නිසා රනිල් රාජපක්ෂ යුගයේ සිදු කල සැලසුම හරිනි අගමැතිනියට තල්ලු කර ගෙන යාමට සිදු වේ. විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ බැසිල්-කන්චන සැලසුම අනුව ක්‍රියාවට නගා සමාගම් හැදිය  යුතුය. මීට අමතරව ජාත්‍යන්තර වශයෙන් යුද්ධයේදී සිදුවූ කරුණු ගැන සොයා බැලීම හා පළාත් සභා මැතිවරණය, ජනාධිපති ධූරය අවසන් කෙරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ආදිය ගැන ජාත්‍යන්තරය ඇස ගසා ගෙන සිටී. 

එනිසා බටහිර බලවතුන් අනුරගෙන් බලාපොරොත්තු වන්නේ දේශපාලන දූෂිතයන් ශුද්ධ කර ඔවුන්ගේ වෙළඳපොල වටපිටාව පිරිසිදු කර ගැනීමය. අනිත් අතින් සුභසාධන රාජ්‍ය රටාව ඔස්සේ දිනාගෙන ආරක්ෂා කර ගෙන ඇති පහසුකම් හැකිතරම් කප්පාදු කිරීමය. ඒ සදහා අනුර හා ඔවුන්ගේ ආණ්ඩුවේ අය ආදර්ශමත්ව එය ඉටු කරයි.  අනෙකුත් අයගේද පහසුකම් කපා දැමීමමට පොලඹවයි. මෙසේ ඉතිරි කරන ධනය විදේශික ණයකරුවන්ගේ වාරික හා පොලි ගෙවීමට උපරිම ලෙස යෙදවිය යුතු අතර, රටතුල ජනතාවගෙන් හැකි තරම් ආදායම් සූරා ගැනීමේ ක්‍රමයට ඉදිරියට ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.  

දැනටම අනුරගේ ජනබලයේ හීනවී යෑමේ ලක්ෂන ඔවුන් දකි. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් දක්ෂිනාංශයක් ගොඩනගා ගැනීමට අවශ්‍යය. රනිල් රාජපක්ෂත් සමග හේත්තුව සිටින නිසා සජිත්ට ඉදිරියට පැමිණීමට නොහැකිය. ඔහු මැදමාවත ගැන උපාය ගැන කථා කලත් එයට ආකර්ශනයක් තවම නැත  රනිල් රාජපක්ෂලා සමග ලංවන විට ජාතිකවාදී උනුසුම එක්වෙන නිසා ණය එකතු කර ගැනීම හා ඔවුන්ට අවශ්‍ය ලෙස ජනතාව මිරිකා ගැනීමට කල්ගත වනු ඇත.  එනිසා ඔවුන්ට පවතින බාධකය වන්නේ මහින්දට වඩා රනිල්ය. එනිසා රනිල් අඩපන කල විගස දක්ෂිනාංශික ප්‍රධාන ධාරාවන් දෙක ස.ජ.බ – යූ.ඇන්.පී. එක්වෙන අතර, පුටු, පොහොට්ටු නඩයද සජිත්ගේ මැදමාවත ගොනුවට රිංගා ගනු ඇත. ඉන්පසුව එළඹෙන දක්ෂිනාංශික ආණ්ඩුවෙන් දැනට රාජ්‍ය සමාගම් කෙරෙන ඉතිරි ආයතනද පුද්ගලික සමාගම් බවට කොටස් වෙලදපොල තුල විකිනීයාමට සැකසිය හැකිය. එසේම ඉන්දියාවද බ්‍රික්ස් කලාපයට ඇතුලුවීම තුල ලංකාවටද ඒ තුලට පැනගැනීමට ජා.ජ.බ. සැරසෙනු ඇතැයි යන සැකයද මේ අතර ඇත.  

අනුරට ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇත්තේ හොරු ඇල්ලීමේ ජනප්‍රිය සටන්පාටය ඌරාගේ මාලු උගේ ඇග උඩ තබා කැපීමේ පිලිවෙතටය. ඇත්තවශයෙන්ම මහ හොරා කෙසේ හෝ කොටුකර ගැනීම ගැන සියලු දෙනා සතුටු විය යුතුය. නමුත් දක්ෂිනාංශික මාවතට ඇදවැටුනු සියලු දෙනා බිරාන්තවී සිටි.  ප්‍රජාතන්ත්‍රවාදයට ඇණ ගැසීමට ලෙනින් පැමිණ ඇති බවට හීන දකියි.  දකුණු කොරියාවේ චුන්ඩෝ හුවාන්, මලයාසියාවේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුවේ ලීක්වාන් යූ, පිලිපීනයේ මාකෝස්  ලෙස අනුරට පත්වීමට හැකියාවක් නැත. ඒ සියලු දෙනා බටහිර නිර්මානයන්ය. නමුත්  අනුරව නිර්මානය කලේ වාමගාමී ජනබලවේගයයි. ඒනිසා ඔහුගේ පාලනයට එක්වූ පිරිසේ දෙබිඩි ලක්ෂණයක් පෙන්නුම් කරයි.  ජාතික ජනබලවේගය ලෙස ඒකරාශී වූ ජනබලවේගයේ බහුතරය මැදමාවත දකුණට යාම නිසා අත්හැර දැමූ වාම හා ප්‍රගතිශීලි ජන කණ්ඩායම්ය. අනෙක් පිරිස වන්නේ රාජපක්ෂ විරෝධය නිසා මැදමාවතෙන්, යහපාලනයට පැන යහපාලනයෙන් ජාතික ජනබලවේගයට පැනගත් මැද පංතික පනින කුරුල්ලන්ය.  අනුර ඡන්දයෙන් පත් වූ නිසා ඔහුට ඉදිරියට යෑමට හෝ ගෙදර යාමට සිදු වන්නේද අරගලයකට වඩා ඡන්දයකින්ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ජනාධිපති කෙනෙකු නොව අගමැති කෙනෙකු කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ප්‍රතිසංස්කරණ කඩිනම් කරමින් ඡන්ද මාවතින් ඉදිරියට යායුතුව ඇත. ඒ වන විට හොරු ඇල්ලීම පිලුනු සටන් පාඨයක් වන බවද අනුර මතක තබා ගත යුතුය.

ජී.වී.ඩී.තිලකසිරි     

ප්‍රධාන කතෘ

Loading