වැඩවර්ජන අස්සේ සෞඛ්‍ය සේවය කෑලි කඩා පුද්ගලීකරණයට දක්කයි!

වෘත්තිකයින් රට හැර යාම

එක් අතකින් කෝවිඩ් 19 වසංගතයේ බලපෑමත් අනිත් අතින් පසුගිය රජය සමයේ සිදුවූ ආර්ථික බිඳවැටීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත පැනවූ උපයනවිට ගෙවිය යුතු  ඉහල බදු ප්‍රතිපත්තිය නිසා සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය සේවය හැරයෑම සිදු විය. එබැවින් එහි බලපෑම තදින්ම දැනීමට පටන් ගත්තේ පොදු මහජනතාවයටය. 

ධනපති කුනාටුව රජය දෙසට 

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව සෞඛ්‍ය සේවය වසාගෙන තිබුනු  දුෂිත තත්වය යටපත් කරමින් නැවතත් සෞඛ්‍ය සේවය යථාතත්වයට පත් කර ගැනීම සදහා වෙහෙසමහන්සි වූ අතර,  දිත්වා කුණාටුවේ පහර කෑමත් සමග සෞඛ්‍ය සේවයට යෙදවිය යුතු මුදල් යෙදවීම පසුපසට වැටී රජයට ආධාර උපකාර කළ ධනවතුන්ගේ බලපෑම රජය තුලට කාන්දු වෙමින් පවතින බව මේ දිනවල රජය ගන්නා තීරණ වලින් පෙනෙන්නට තිබේ.  

රජයේ නොහැකියාව එලිදැක්වීම

පසුගිය 2026..01.05. දින කැබිනට් තීරණ දැණුම්දීම් අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 04  හා  05 යටතේ සෞඛ්‍ය සේවයට බලපාන බරපතල තීරණ කීපයක් ගෙන තිබේ. එනම් සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර්, ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍ර මිලදී ගැනීමට හා හෘද රෝග චිකිත්සක ඒකක, ස්වයංක්‍රීය රුධිර පරීක්ෂණ ඒකක පිහිටුවීම සඳහා රජයට අරමුදල් හිඟයක් ඇත. එසේම මේ උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වැඩිය. එනිසා මේ පහසුකම් රජයේ රෝහල්වල හිඟවීම හේතුකොට ගෙන, රජයේ රෝහල්වල පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයන් සිදුවේ. මෙයට විසඳුමක් ලෙස මේ පරීක්ෂන පුද්ගලික අංශය විසින් සපයනු ලබන යන්ත්‍ර හෝ ඒකක මගින් සිදුකොට, ඒ සඳහා ගෙවීම් රජය විසින් පුද්ගලික අංශයට කරනු ඇත. මේ ගෙවීම් සිදුකරණු ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියක් ඔස්සේය. මෙය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත. යනුවෙනි. 

මුදල් නැතොත් වකුගඩු රෝගීන් වලපල්ලට 

මීට අමතරව දැනට රජයේ රෝහල් 80 ක ඇති වකුගඩු රෝග සඳහා ඇති  කාන්දුකරණ ඒකක පිළිබඳවයි. මින් ඉදිරියට කාන්දුකරණ යන්ත්‍ර සැපයීමේ සිට, ඒ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග සැපයීම, කාන්දුකරණ දියර මිලදී ගැනීම දක්වා සියලු කටයුතු පුද්ගලික අංශය විසින් සිදුකරනු ලැබේ. මෙහිදී මේවාට මුල්‍යමය ආයෝජනයද, ඒවා පවත්වාගෙන යාමද පුද්ගලික අංශය විසින් කරනු ලබන අතර, රජය විසින් ඒ ඒකක පවත්වාගෙන යාමට යටිතල පහසුකම් හා සායනික උපදේශක සේවාවාන් සපයනු ලැබේ. රජය පුද්ගලික අංශයෙන් සපයන සේවාවන් සඳහා පුද්ගලික අංශයට ගෙවීම් කරනු ඇත. මෙයද රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.

ඇත්තවශයෙන්ම රජයට මුදල් නැද්ද? 

මෙම කරුණ පිලිබදව රාජ්‍ය අංශයේ විශේෂඥ සේවාවන් තුල හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් තුල හෝ සාකච්ඡාවකට ලක්වු බවක් පෙනෙන්නට නොතිබුනි. දැනට පුද්ගලික අංශයේ සේවයේ නියුතු හිටපු රාජ්‍ය සේවයේ වෛද්‍යවරයෙක් වූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් එලිදැක්වූ ලිපියක හා ඔහු විසින් යූටියුබ් මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද අදහස් දැක්වීමකදී මෙම කරුණු පැහැදිලි ලෙස දැනගතහැකි විය. මෙම තීරණ දෙකින්ම පෙන්වනු ලබන්නේ සෞඛ්‍ය සේවය ලාභ ලබලන පුද්ගලික අංශය සමග හවුල්කාරිත්වයකට ගමන් කරවමින් පවතින අර්බූදයන් සමනය කරගැනීමට ගනු ලබන පියවරක් ලෙසය. එසේ නම් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා තුල අවම වශයෙන්  තාවකාලික පියවරක් ලෙස හෝ සදහන් කල යුතුව තිබුනි. නමුත් එය එසේ නොවන බව පැහැදිලි වන්නේ 2025 සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කල මුදලින්ද වැය කර ඇත්තේ 20% වැනි අඩු මුදලකි.  එම ඉතිරි කර ගත් මුදල් දිත්වා සදහා යොදවනවා නම් මෙම වසරට වෙන් කල මුදලින් හෝ සෞඛ්‍ය සේවා කටයුතු සිදු විය යුතුවේ. 

කදපනු නිලධාරින් මගහැර යාම

විශේෂයෙන් මෙම පත්‍රිකාවල සදහන් වන පරිදි එම යන්ත්‍ර මිලදී ගැනීමේ කටයුතු සංකීරණ වන නිසාද මෙම තීරණයට එලඹ ඇති බවද එම යන්ත්‍ර පමණක් නොව උපාංගද මිලදී ගැනීමේ කටයුතු දැනට අඩපනව ඇති බව පෙන්නුම් කර තිබේ. එසේ වීමටද හේතුවී ඇත්තේ දූෂිත තත්වයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේදී එම ස්ථාන බදාගෙන කාගෙන සිටි කදපනු නිලධාරින් මගහැර යාමේ ගැටලුව මතුවේ. එහෙත් එයට පුද්ගලිකරණය දෙසින් පිලිතුරු සෙවීමට ගමන් කිරීම ගමරාල බල්ලා එලවීමට පොල්බෑයෙන් දමා ගැසූ පරිදි සිදු කරන විනාශකාරී ක්‍රියාවකි. එසේනම් ක්‍රමවේදයක් හදා ගන්නා තුරු තාවකාලික පදනමින් යන කොටස ඇතුලත් විය යුතුව ඇත. 

ජනතාවගේ ගෙලට තොන්ඩුව

විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව සුබසාධන රාජ්‍ය බිද දැමීමට  නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය  විනාශ කිරීමේ පිලිවෙත වර්තමාන රජය යටතේ නැවතත් ක්‍රියාවට නැංවීම‍ට  බලපෑම් කරයි. ණය වාරික ගැනීම සදහා ඔවුන්ට ගැලපෙන ලෙස රජය අලුත් ප්‍රතිව්‍යුහයන් ඉදිරිපත් කර ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් එම පියවරයන් නිසා ජනතාවගේ ගෙලට තොන්ඩුව වැටෙන බවට මැති ඇමතිවරුන්ට නොපෙනීම අභ්‍යාග්‍යකි. ත්‍රිමාවිතාන ඇතුලු තරුණ තරුණියන් දහස් ගණනක් දිවිදී දක්ෂිනාංශික පාලන සමයන්හිදී පවා රැකගත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වර්තමාන රජය මගින් කෑලි ගලවා පුද්ගලීකරණය කිරීමට සැරසීම ලාංකික ජනතාවගේ පරම අයිතය පාගා දැමීමක් බව රජයේ ප්‍රධානීන් සැලකිල්ලට ගත යුතුය. 

වෘත්තිකයන්ගේ ඔහෙ පලයං න්‍යාය

දැනට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඔවුන්ගේ සේවා කොන්දේසි රැක ගැනීම සදහා වර්ජන හා අඛන්ඩ වෘත්තීය ක්‍රියාදාමයක නිරත වෙමින් ඇත.  නමුත් තමන්ගේ රජයේ සේවා තත්වය ගිලිහී යන භයානක දෙයක් සෞඛ්‍ය සේවය තුල සිදුවීමට පටන් ගෙන ඇති බව වෛද්‍ය වෘත්තිකයින්ට නොදැනීම හා නොපෙනීම පුදුම සහගතය. එපමණක් නොව දැනට ඉතිරිව සිටින රජයේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයින්ද රජයෙන් ලැබෙන දේ අරගෙන ඉතිරිය පුද්ගලික අංශයේ සේවයෙන් ලබා ගැනීම වඩා පහසු නිසා ඔහෙ පලයං න්‍යායෙන්  නිහඩව සිටින බවද පෙනේ. අද සේනක බිබිලේ වැනි වෛද්‍ය වෘතිකයින්ද මහාචාර්ය කාලෝ පොන්සේකා වැනි විද්වතුන්ද නොමැති හිස් අවකාසයක් රාජයේ සෞඛ්‍ය සේවය තුල වැඩෙමින් තිබේ. වැඩවර්ජනය ජනප්‍රිය ආයුධයක් ලෙස භාවිතයට ගනිමින් සිටින තාක්ෂණික වෘත්තිකයින් සියලු දෙනාටම වැඩට නොපැමිණ ගෙදරට වී සිටිය හැකි ලෙස සේවාවන් අහෝසිවී යන ආකාරයෙන් ඉහත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙක සැකසී තිබියදීත්  ඔවුන් වැඩවර්ජනය කරන්නේ කුමක් සදහාද යන්න ගැනවත් හිතන කෙනෙක් නැත. අද මොවුන් සියලු දෙනාම එක්ව සිදු කරන්නේ සාගරය මැද චන්ඩ මාරුතකට හසුවී ගසාගෙන යන අබලන් නැවක සිටින පිරිසක් එක්වී පලා යාමට නැවේ බද හිල් කිරීම වැනි වැඩකි. 

රජයට කොනිත්තීමට වඩා රජය ජනතාව දෙසට හැරවීම 

මෙයින් සිදුවන්නේ පොදු ජනතාව දිනෙන් දින තවත් අපහසුතාවයට පත් වන අතර, රාජ්‍ය සෞඛ්‍ය සේවය බිද දැමීමට රජයත්, වෘත්තීකයනුත්, අත්වැල් බැදගෙන පුද්ගලීකරණයේ වටු දැලට කොටුවී යාම පමණය. එබැවින් රාජ්‍ය සෞඛ්‍ය සේවයට හා ජනතාවට සිදුවිය හැකි අනතුර ගැනද  සලකමින් එය බේරා ගැනීමට තනි තනිව කෙරෙන වෘත්තීය සටන් ප්‍රමාණවත් වන්නේ නැත. නිදහස් අධ්‍යාපන වරම මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර දන වැද්දන්ගෙන් බේරා ගැනීමේ අවදියකට රටම අවදිකර ගත යුතුය. රජයට කොනිත්තමින් සිටිනවාට වඩා රජය ජනතාවගේ දිසාවට හරවා ගැනීම සදහා පෙල ගැසීමේ කාලය පැමිණ තිබේ.  

රජයට විශේෂඥ සහය ලබාදිම 

එසේම රජය දිත්වා කුණාටුවේ බලපෑම හා ණය කොන්දේසි සපුරාලීමේ අපහසුතාවට මැදිව සිටියත් නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරනු කෑලි කලවා පුද්ගලීකරණය කිරීමට ගනු ලබන පියවර නවතා දැමිය යුතුය. එය වර්තමානයට පමණක් නොව මතු පරපුරටද කරනු ලබන විනාශයකි. ඇත්තෙන්ම දැනට පවතින ගැටලු වලට තාවකාලික පියවර ගනු ලැබුවත් දිගු කාලීන වශයෙන් රජයට කල නොහැකි නමුත් පුද්ගලික අංශයට හරියට කළ හැකි දෙයක් නොමැති බව ඉන්දියාව, චීනය, දකුණු කොරියාව වැනි රටවලින් ආදර්ශ ලබා ගෙන කටයුතු කළ යුතුවේ එම සේවාවන් සිදු කිරීමට පුද්ගලික අංශයට පැවරීමට වඩා රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාව, හා කොළඹ වරාය ලෙස පූර්ණ රාජ්‍ය සංස්ථාවක් මගින් එම සේවාවන් සෞඛ්‍ය සේවයට ලබා දිය හැකිය. එවැනි පියවරයන් දෙසට රජය ගෙනයාම සදහා වෘත්තිකයන්, වෘත්තිය සමිති, හා ජනතාව එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍යව පවතී. 

Loading

Leave a Reply