අමාරුකම් තිබුණත් ජනතාව සීරුවෙන් !
තමන්ට මේ අණ්ඩුවෙන් යහපතක් සිදුවේයැයි ජනතාව නොසංසිදුනු බලාපොරොත්තු ගොන්නක් සිත්සතන්තුල සිරකරගෙන සිටිති. එයට බලපාන හේතු තිබේ.
විදුලි බිල 15% කින් වැඩිවීම සහ බලශක්ති මිල ගණන් වෙනස් වීම රටේ උද්ධමනයට සෘජුවම බලපා තිබේ. විදුලිබිල වැඩිවීම සුලු හා මධ්‍යම පරිමාන කේෂත්‍රයට බලපාන අතර පාඩුලබන කර්මාන්ත ශාලා වැසීයාමේ අනතුරද පවතී. මහාපාරිමාන නිෂ්පාදනයන්ගේද මිල ඉහලයාමට එය බැලපෑමක් සිදු කරන අතර, ඇමරිකානු තීරු බදු පැනවීම්ද ආර්ථිකයට ගැටලුකාරි තත්වයක් මතු කරයි.
ආර්ථික දත්ත විශ්ලේෂකයින්ට අනුව 2025 පලමු කාර්තුවය කොළඹ පාරිභෝගික මිලදර්ශකය අනුව වාර්ෂික උද්ධමනය -4.0% ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 දෙවන කාර්තුවේදී (මැයි-ජූනි) උද්ධමනය බිංදුවක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බලශක්ති මිලෙහි යම් ඉහළ යාමත්, ගෝලීය ආහාර මිල වැඩිවීමත් මෙයට බලපා ඇත.
2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0% කින් වර්ධනය වූ අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කාර්මික අංශය සහ සේවා අංශය වර්ධනයයි. 2025 පළමු කාර්තුවේදී ආර්ථිකය 4.8% කින් වර්ධනය වී ඇති අතර, ලෝක බැංකුව: 3.5% ක වර්ධනයක් ලෙසත් ආසියානු සංවර්ධන බැංකුව 3.9% ක වර්ධනයක් ලෙසත් මෙය පුරෝකථනය කර තිබේ. 2025 වසරේ මැයි සහ ජූනි මාසවල ශ්‍රී ලංකාවේ බදු ආදායම, විදේශ රැකියා ආදායම සහ සංචාරක ආදායම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
2025 මැයි මාසය වන විට රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.7 ඉක්මවා ඇත. අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ඉලක්ක ඉක්මවා ගොස් තිබේ.
විදේශ රැකියා ආදායම 2025 මැයි සහ ජූනි මාසවල ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2025 වසරේ පළමු මාස හය තුළ (ජනවාරි-ජූනි) සමුච්චිත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 18.9% ක වර්ධනයකි
සංචාරක කර්මාන්තය 2025 මැයි සහ ජූනි මාසවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. 2025 වසරේ පළමු මාස හය තුළ (ජනවාරි-ජූනි) මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,168,044ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 15.6% ක වර්ධනයකි.
මෙම ප්‍රධාන ආදායම් මාර්ග තුනම 2025 මැයි සහ ජූනි මාසවල ආර්ථිකය ඉහළ නැංවීමට ධනාත්මක දායකත්වයක් ලබා දී ඇති බව මෙම දත්ත මගින් පැහැදිලි වේ. එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබන අයවැය වන විට ලබාදිය හැකිද? එසේත් නොවන්නේ නම් එම ආර්ථික සංවර්ධනයේ වාසිය හා බදු එකතුකිරීමේ සීඝ්‍රතාවය ජාත්‍යන්තර මුල්‍ය හිමියන්ගේ ණය පියවීම සදහාම පමණක් යොදවනු ලබයිද යන කරුණ ඉදිරියේ දී සැලකිල්ලට ගත යුතුව ඇත.
මාලිමා රජයේ ගමන් මග පිලිබදව වැඩකරන ජනතාව තවමත් පාරට පැමිණීමට සූදානමක් නොමැත. ගොවි ජනතාව අතර, වී මිල පිලිබද ප්‍රශ්ණ පැවතුනත් ඔවුන්ගේ උද්ඝෝෂණ ජනමාධ්‍යයට සීමා වෙමින් තිබේ. පොදු ජනතාව ජීවන බරින් මිරිකී සිටියත් ආර්ථිකය නැවත ප්‍රකෘතිමත්වීම ගැන සියලු දෙනා අතර යහපත් ප්‍රතිචාරයක් පෙන්නුම් කරන අතර, එම ආර්ථික වාසිය ජනතාව වෙත ලබා ගැනීමේ බලාපොරොත්තුව සහිතව ඔවුන් සීරුවෙන් බලාගෙන සිටිති.