ඇමරිකාවේ උම්මත්තක ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවට බලහත්කාරයෙන් කඩාවැදීම තරයේ හෙලා දකිමු. 

 ජනමාධ්‍ය නිවේදනය                                                                  2026-01-06

මෙහි පසුපස ඇති එකම සත්‍ය වන්නේ වෙනිසියුලාව සතුව ඇති විශාල තෙල් සම්පත ඇතුලු වෙනත් ස්වභාවික සම්පත් රාශියක් කොල්ලකෑමේ ට්‍රම්ප් පාලනයේ දුර්දාන්ත අපේක්ෂාවයි. මෙම නිරුවත්භාවය කිසිසේත් ඇමරිකානු ජනතාවට හෝ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකුටත් වසන්කල නොහැකිය.  

මෙවැනි ගෝත්‍රවාදී සිතුවිල්ලකට ට්‍රම්ප් පාලනය තල්ලුවී යැමට හේතුවී ඇත්තේ ඇමරිකාව මුහුණ දෙන දැවැන්ත ආර්ථික අහේනිය දරාගත නොහැකි වීම නිසාය.  එසේම ඔවුන්ගේ ලෝක ආධිපත්‍ය ගිලිහීයාම නවතා ගැනීම සදහා ගනු ලබන යුද්ධමය සැලසුමක් බව පැහැදිලිය. එසේම නව ලිබරල්වාදී ආර්ථික පිලිවෙත ලෝකය පුරා බිඳවැටීමට පටන් ගැනීම නිසා ඇමරිකානු ඩොලරය සීඝ්‍ර ලෙස පහත වැටීමටත්, පරිහරනයෙන් ඉවත්වීමට පටන් ගැනීමත්, චීනය, රුසියාව, ඉන්දියාව ඇතුලු බ්‍රික්ස් (BRICS) රටවල් රාශියක් සමග වෙනිසියුලාවද තම මුදල් ඒකක මගින් ඛනිජ තෙල් වෙලදාමට සම්බන්ධවීම ඇමරිකාවට දරගත නොහැකි විය. එයට උරණව වෙනිසියුලා රාජ්‍ය පාලනය වෙනස් කිරීම සදහා ට්‍රම්ප් පාලනය කලක සිට කුමන්ත්‍රණකාරීව උත්සාහ කලත් වෙනිසියුලාවේ ජනමතයෙන් එයට ඉඩක් නොලැබුනි. අවසානයේ ට්‍රම්ප් පාලනය යුද්ධමය රාජ්‍ය ත්‍රස්තවාදී පියවරකට ගමන් කර තිබේ. 

ට්‍රම්ප්ගේ අධිපතිවාදී සැලසුම වන්නේ වෙනිසියුලාවෙන් නොනැවතී කියුබාව, බොලිවියාව, මෙක්සිකෝව, කැනඩාව, ග්‍රීන්ලන්තය දක්වා විහිදී යන අධිපතිවාදී මිලිටරිවාදී මහා අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීම බව ඔහුගේ ප්‍රකාශ වලින්ම පෙන්නුම් කරයි. මෙය දෙවෙනි ලෝක යුද්ධයට පෙර මතුවෙමින් පැවති හිට්ලර්, මුසලෝනි වැනි මානව සංහතියට නිගාදෙන බියකරු අතීතයක හැඩරුව ලෝක ජනතාවට පෙන්නුම් කිරීමකි. 

ට්‍රම්ප් පාලනය වෙනිසියුලා කුමන්ත්‍රණයට සූදානම්වීම සදහා ඇමරිකානු ජනතාවගේ බදු මුදල් අල්ලස් ලෙස හා හමුදා නිලධාරින් මිලට ගැනීම සදහා නීති විරෝධීව ඩොලර් මිලියන ගණනින් වැයකර ඇති බව දැනටමත් හෙලිදරව් වී තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ලෝක ඉතිහාසය ආපසු කැරකවීමට ට්‍රම්ප් විසින් ගෙනයන ෆැසිස්ට්වාදය දිසාවට යොමුවූ නින්දිත ක්‍රියාපිලිවෙතකි. එනිසා ඔහු ජාත්‍යන්තර අපරාධකරුවෙකුගේ තත්වයට පත්වෙමින් සිටී.  එබැවින් ට්‍රම්ප් ඇතුලු මෙයට අනුබල දුන් සහචරයන් ඇමරිකාවේ හා ලෝක ජනමතයේ නියමයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට පැමිණිය යුතු බව අපි කල්පනා කරමු. 

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ හා එම ආර්යාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ  වනචාරි ක්‍රියාදාමයට විරුද්ධව රටවල් ලෙසත්, ලෝක ජනතාව ලෙසත් නැගිටිමින් මුහුණ දිය යුතුය. දැනටමත් රුසියාව, චීනය, ඉරානය, කියුබාව, බ්‍රසීලය ඇතුලු ලතින් ඇමරිකාවේ රටවල් හා ස්පාඤ්ඤයද යුරෝපා කොමිසමද, එක්සත් ජාතීන්ගේ මහාලේකම් අන්තෝනියෝ ගුතරෙස් ද මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලාදැක තිබේ. 

එබැවින් ශ්‍රී ලංකාව හා ආසියානු රටවල්ද ට්‍රම්ප්ගේ ඒකාධිපති ක්‍රියාදාමයට විරුද්ධව පෙල ගැසෙමින් ඉදිරියට පැමිනිය යුතුව ඇත. එම බලවේග සමග ලංකාවේ වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවද සමග අප පක්ෂයද, වෘත්තීය සමිති සංවිධානයන්ද අඛණ්ඩ ලෙස විරෝධතාවන් සදහා එක්වන බව පවසා සිටිමු. එසේම වෙනිසියුලානු ජනාධිපති මදුරෝ හා එම ආර්යාව වහාම නිදහස් කරන ලෙසද, මිනිසත්කමට නිගාදෙන කුමන්ත්‍රණකාරි පියවරින් ජීවිතක්ෂයට පත්වූ වෙනිසියුලා සොල්දාදුවන් සියයක් පමණද, සිවිල් වැසියන් 40 දෙනෙකු පමණද, හානියට පත්කර ඇති දේපොල සදහාද ට්‍රම්ප් පාලනය විසින් වහාම වන්දි ගෙවිය යුතු බවද අපි නිවේදනය කර සිටිමු. 

Loading

Leave a Reply