-පද්මසිරි ගාර්දියවසම්-
වසර හයක් පුරා දිවයිනේ පාසැල්වල ගුරුවරුන් ලෙස කටයුතු කල පාසැල් සංවර්ධන නිළධාරින් තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති . අදට (සැප්තැම්බර් 27 ) එයට දින 17 ක් සපිරේ. ඔවුන්ගේ වෘත්තීය අරගලය පිළිබඳව අසාධාරණයට ලක්වූ ගුරු සංවර්ධන නිළධාරින්ගේ එකමුතුවේ විරාජ් මනරංග මහතා අදහස් දැක්වූයේ මෙසේය .
” අපි අවුරුදු හයක් තිස්සේ පාසැල්වල ඉගැන්වීමේ කටයුතු කලා .ආණ්ඩුව හදනවා විභාගයක් නැතිව අපි ගුරු සේවයට බදවා ගන්න. අපි අවුරුදු හයක් පාසැල්වල ඉගැන්නුවත් අපිට ප්‍රමුඛතාව නැතිව රැකියා විරහිත සහ ආයතන ගත උපාධිධාරීන් සියලු දෙනාම එකතු කරලා විභාගය තියන්න හදන්නේ .අපිට අවුරුදු හයක පළපුරුද්දක් තිබෙන නිසා එයට ප්‍රමුඛතාවය දීලා ප්‍රායෝගික පරීක්ෂණයක් තියන්න කියලයි අපි යෝජනා කරන්නේ . එතකොට ගුරුවරයෙකුට අවශ්‍ය පෞරෂත්වය, කතා කිරීමේ හැකියාව, පාසැල් දරුවෙකු මෙහෙයවා ගැනීමේ හැකියාව බලාගන්න පුළුවන් . අපිට පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අනිවාර්ය කළොත් එහි ඇති සුදුසුකම් විභාග අපට සම්පූර්ණ කරන්න පුළුවන් . ”
” අපි අපේ ජීවිත සැලසුම් කරන් ඉන්නේ ගුරුවරුන් හැටියට . අපි මේ වනවිට පාසැල්වල පංති භාරකාරත්වය ,විෂය භාරකාරත්වය දරනවා වගේම අපේ සමහරු නියෝජ්‍ය විදුහල්පති වරු ලෙසත් සේවය කරනවා . මේ අවුරුදු හය ඇතුළත අපි උගන්වපු ළමයි විශ්ව විද්‍යාල වලට ගිහින් අද රැකියා විරහිත උපාධිධාරීන් වෙලා ඉන්නේ . උගන්වපු අපියි අපෙන් ඉගෙනගත්තු ළමයිනුයි එකම අරමුණක් වෙනුවෙන් එකම විභාගයකට දැම්මොත් එය සාධාරණ නැහැ.”
“අනෙක් එක අපි පාසැල්වල උගන්වන විෂය පුරප්පාඩු කරලා තමයි මේ විභාගය තියන්න යන්නේ. එදා රැකියා විරහිත උපාධිධාරීන් 53000 කට එක්වර රැකියා දුන්නා .ඒකෙන් 20000 ක පමණ පිරිසක් ගුරු වෘත්තීය තෝරා ගත්තා . එතකොට ගුරුවරයාගේ වැටුප් අඩුවෙන් තිබුනේ. දැන් ගුරු සේවයේ වැටුප් වැඩිනිසා බොහෝ පිරිසක් ගුරු වෘත්තියට එන්න බලනවා . එදා තිබුණු ගුරු හිගයට පිළියමක් ලෙසයි අපි පාසැල් වලට දැම්මේ .විද්‍යා පීඨ වලින් එකපාරට ගුරුවරු 15000 ක් 16000 ක් බදවා ගන්න බැහැනේ. එදා ගුරුවරු විශාල පිරිසක් එකවර විශ්‍රාම ගියනිසා පාසැල් පද්ධතිය තුල දැවැන්ත අර්බුදයක් ආවා .එය සමනය වුනේ අපිනිසා. අදත් බොහෝ පාසැල් වල ප්‍රාථමික අංශයේ වැඩ කරගන්න බැහැ අපේ අය නැත්නම් . අපි මෙතැනින් එළියට ගියොත් අපේ ආත්ම ගරුත්වය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා .විද්‍යාපීඨ ගුරුවරයෙකුගේ පුහුණු කාලය අවුරුදු තුනයි .දැන් අපිට අවුරුදු හයක පුහුණුවක් පළපුරුද්දක් තිබෙනවා . අපිට ගුරුවරු විදියට වැඩ කරන්න සුදුසුකම් නැත්නම් සුදුසුකම් හදාගන්න අවස්ථාවක් දෙන්න කියා රජයෙන් ඉල්ලනවා .” යනුවෙන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල ශක්තිය වෙත ඉදිරිපත් කලේය.