ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ කිරීමේ කඩඉම දක්වා වේගවත් ගමනක් සියලු බාධක බිදහෙලමින් ගමන් කරන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. එයට බලපාන ලද විශේෂ හේතුව වී ඇත්තේ ජා.ජ.බ. නායකයින් පෙන්නා දුන් ආකාරයට ජනතාව අන්ත දූෂිත දේශපාලන නඩය පරාජය කර රට නව මාවතකින් ගොඩ නැගීමට අතිවිශාල බලයක් ජනාධිපතිවරණය, මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ තුනකින්ම ජනතාව විසින් ලබාදී තිබීමය.
මෙවැනි සුවිශේෂී ජනවරමක් දිනාගත් අනෙක් නායකයා වූයේ 1978 ඒකාධිපති ව්‍යවස්ථාවක් ඇතිකර ජනතා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පාගා දැමූ ජේ.ආර්. ජයවර්ධන ශාපකාරි පාලන සමයයි. මෙම කරුණ මතක් කිරීමට හේතුව වන්නේ බලය හා දූෂණය එකට එක වෙලී ගමන් කිරීමේ සාධකය සැලකිල්ලට ගැනීමටය.
කෙටිකලක් ජනාධිපතිවරම් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට නම් කිරීමට එදා දේශපාලන බලපවුර ගත් තීරණය වැරදි බව අමාත්‍යවරයෙක්ව සිටිමින්ම පෙන්වා දුන්නේ වාසුදේව නානායක්කාර සහෝදරයාය. එයට හේතුව හැටියට පෙන්නුම් කලේ ජනාධිපති තනතුර වැනි රට මෙහෙයවන නායකත්වයක් පත් කර ගැනීමේදී යුද්ධ නිලධාරි හපම්කම්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අත්දැකීම් රාශියක් එක් කර ගැනීමේ උවමනාව පෙරදැරි කර ගෙනය. අවසානයේ සන්ධානයේ සියලු පක්ෂ එතුමා වෙනුවෙන් පෙල ගැසුනු අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ දක්වන අදහස් වෙනුවෙන් සාකච්ඡා අවස්ථා 3ක් ගෝඨාභය ලබා දුන් අතර, එම අවසාන සාකච්ඡාවට වාසුදේව සහෝදරයා ඇතුලු පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන නායක පිරිසක් එක්වූහ. රට ජනතාවාදී මගකට හැරවීමට සූදානම් වෙනවා නම් ජනතාවාදී මාවත රැකගනිමින්, දූෂණය මැඩපැවැත්වීමේ කොඩිය අතට ගෙන මත් ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව අප අවධාරණය කලෙමු. එම කරුණු ඉටු කිරීමට නායකත්වය ගන්නේ නම් අපද පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයට සහය විය හැකි බව පෙන්වා දුන්නේය. ඔහු ඒ සියල්ලට එකගවී අප පක්ෂයේ සහය ලබාගැනීමට කැමති විය. නමුත් රාජ්‍ය බලය දිනාගත් පසුව ඔහුට ඒ කිසිවක් හරි හැටි කල නොහැකි විය. රාජ්‍ය තුල දුෂිත වලල්ල ඔහුට වැඩිය බලවත් විය. එහි ඔහු පැටලී ගත් තීරණ සමග වාසුදේව සමග ඇමතිවරු කීප දෙනෙක් ඉවත්වී රටට සිදුවෙමින් පවතින දේ ජනතාවට හෙලිදරව් කරන ලදි. ඉන් අනතුරුව ඉතිහාසයේ පලමු වතාවට ජනතාවගේ කෝපයේ බලයෙන් එලවා දමන ලද ජනාධිපතිවරයා ලෙස නමක් දිනා ගෙන තනතුර හැරදා යාමට ගෝඨාභයට සිදු විය.
“බලය දූෂිතයි. වැඩි බලය වැඩිය දූෂිතයි“ යනුවෙන් මැතකදී වාසුදේව සහෝදරයා නැවතත් රජයටත්, ජනතාවටත් මතක් කරදී ඇත. එහි බැරෑරුම් අර්ථයක් පවතින බැවින් සියලු ජන මාධ්‍ය ඔස්සේ එයට විශාල ප්‍රචාරයක්ද ලැබුනි. තවමත් ජාතික ජනබලවේග රජය දූෂිත බවට ජනතා පිලිගැනීමක් නැත. නමුත් දැනට ලැබෙන ප්‍රවෘත්ති හා තොරතුරුවලට අනුව දූෂිත ලක්ෂණ සහිත පුද්ගලයින් රජයට ඇතුලු වී පරන සෙල්ලම පටන් ගෙන ඇති බවට සැක සාංකා විවිධ තැන්වලින් මතුවෙන්න පටන් ගෙන ඇත.
මෑතකදී සිදු වූ බාල ගල් අඟුරු ආනයන ගැන විදුලිබල අමාත්‍ය වරයාට හා අමාත්‍යාංශ ලේකම් වරයාට එරෙහිව විවිධ අදහස් ගලා යමින් තිබේ. විදුලි බල අමාත්‍යවරයා දූෂණයක් කර නොමැති බව ජනාධිපතිවරයා කියා සිටියත් බාල ගල් අගුරු ලබා ගනිමින් ජාතික ආර්ථිකයට සිදු කර ඇති පාඩුව දුෂණයක් නොවන්නේ නම් කළමනාකරණ වරදක් ලෙසවත් අර්ථ ගැන්වීමට ජනාධිපතිවරයා සමත් විය යුතුය. සිදුවී ඇති වරදේ හෝ අක්‍රමිකතාවයේ දිග පලල විඝනකාධිපතිනිය විසින් ජනතාවට සමීප කර තිබේ. එබැවින් අමාත්‍යවරයා විධායකයට ඇතුලත්ව තබා ගැනීම ගැන ජනපති වරයාද වගකීම් දැරිය යුතු බව ජනතාවට වසන් කළ නොහැකි වනු ඇත.
මැද පෙරදිග යුද්ධය ඇවිලීමත් සමග ඉන්ධන මිල ඉහල යාම තවත් කරුමයක් ජනතාවගේ හිසමත කඩා වැටී ඇත. මෙහිදී ඉන්ධන මිල ඉහල දමා, පරිභෝජනය අඩු කිරීම හා සලාක ක්‍රමය යොදා ගනිමින් රජය යම් ආකාරයක වැඩපිලිවෙලක් අනුව නඩත්තු වෙමින් සිටී. නමුත් බාල ගල් අගුරු නිසා විදුලි නිශ්පාදන ධාරිතාව අඩුවීම පියවීමට ඉන්ධන බලාගාර පනගන්වා විදුලිබල මණ්ඩලයට පිටතින් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා එහි වැයබර ජනතාව වෙත පැටවීම කිසිවෙකුටත් වසන් කල නොහැකිය. එනිසා ජා.ජ.බ. රජයට මෙම කරුණෙන් ගැලවීමක් නොමැත. විඝනකාධිපතිනිය පෙන්නා දෙන වැරදි ආණ්ඩුව සැලකිල්ලට ගෙන නිසි පියවර නොගන්නවා නම් ජ.ජා.බ. රජයේ සුදු පිරුවට ඉදිරියේදී ලෙහී යනු ඇත.
ජනාධිපති කොමිසන් දමා ප්‍රශ්ණ යටගසා පැරනි වරදකරුවන් සොයා නීති මගින් දඩුවම් දීමේ දස අවුරුදු වැඩපිලිවෙල ගෙනයාම වෙනත් උපායක පියවරකි. අදට ගැලපෙන ලෙස හා ජනතාවගේ සිත්සතන් තුලට කාවදින දුෂණය පිටුදැකීමේ පියවර අමාත්‍ය මණ්ඩල මටටමින්ම ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. පලමු දෙවසර තුල හදුනාගත් දක්ෂතා රැකගෙන දුර්වලයන් පසුපසට දමා නවකයින් පෙරට ගැනීම සදහා ජනාධිපතිවරයා සිදු කල යුත්තේ කුට්ටම අනාගෙන ඊලග වටයේ ගමනට සූදානම් වීමය. මේ වන විටත් විදුලිබල අමාත්‍ය හා ලේකම් ඉල්ලා අස්වීම දුර්වල කලමනාකරණයට වැට බැදීමට ශක්තියකි. එක් කෙනෙකු නොව අමාත්‍ය මණ්ඩල තුල හදුනාගත් අය වෙනස් කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් ලෙස පවතී. බලය දුෂිතයි. වැඩි බලය වැඩිය දූෂිතයි යන කියමනට පිලිතුරු සොයා ගත යුත්තේ බලය පවරා දුන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුලුමනින්ම ආරක්ෂා කර ගනිමිනි. ජනතාවගේ සිත්සතන් තුල කැකැරෙන සැකසාංකා දුරු කිරීමට ජනාධිපතිගේ හැකියාව මෙන්මක් බලය යොදවන ආකාරය පෙන්නුම් කිරීමට අවස්ථාව එළඹ තිබේ.



