මාලිමා රජය වාමාංශික වර්ගයට අයත් බව රජය පිහිටුවීමට පෙර සිට අපි ප්‍රකාශ කලෙමු. ජා.මු.අ. කොන්දේසි හා ඒ සමග කරන ණය ගනුදෙනුව සදහා ඔවුන් නියම කර ඇති ප්‍රධාන කොන්දේසි රජයට වෙනස් කර ගත නොහැක.
එම කොන්දේසි මූලික ලෙස යොමු වන්නේ රජයේ ආදායම් වැඩි වැඩියෙන් එකතු කර ගැනීම හා රජයේ වියදම් ගැන හැකිතරම් සීමා පැනවීමටය. එය පොදු ජනයා බුක්ති විඳින සුභසාධනය කපාදැමීමට සිදු කෙරෙන දරුණු කොන්දේසිය. එමෙන්ම රාජ්‍ය දේපොල පුද්ගලීකරණය කිරීම හෝ පුද්ගලික අංශය සමග හවුලේ භුක්ති විඳීමේ යෝජනා වෙත තවත් මාවතකින් බලපෑම් සිදුකරයි.
මෙබඳු රාජ්‍ය පෞද්ගලික සහභාගිත්ව (PPP) සමාගම්වල අයිතියෙන් ආරම්භකර යම් කලකදී කොටස් වෙලඳපොලේ විකිනීමට දමනු ඇත. ඒවා අවසානයේ මහා පරිමාන කොම්පැනිවලට යටපත්වීම වලක්වා ගත නොහැකි වනු ඇත. මාලිමා රජය දිගටම බලයේ රැදී සිටින බව සිතා කටයුතු කලත් ප්‍රජාතන්ත්‍රය බලවත් අප වැනි රටක දක්ෂිනාංශය බලයට පැමිණිම ගැන හැම මොහොතේදීම සිහියේ තබාගත යුතු කරුණකි. ඔවුන් බලයට පැමිණි හැමවිටම සිදු කලේ පොදු ජනතාවගේ දේපොල ධනවතුන්ගේ සුඛවිහරනය සදහා පාවාදීමය. වරාය, රක්ෂනය යම් පමණකින් හෝ බේරා ගනු ලැබුවේ වැඩකරණ ජනතාවගේ හා නිතියේ ආධිපත්‍යයේ ශක්තිය හමුවේය.
අමාරුකම් තිබුණත් සියලු මිල වැඩිකිරීම් අතර වැඩකරන ජනතාව ලැබූ වැටුප් වැඩිවීම් උද්ධමනයට සරිලන ලෙස වැටුප් ගැලපුනේද යන්න වෙනම ප්‍රශ්ණයකි. තවද පඩි පාලක සභාවන් මගින් නියම කරන අවම වැටුප ද සැලකිය යුතු ලෙස වැඩිකර ඇත. එහෙත් වතු කම්කරු ජනතාවට වැඩිකල 1750/- දෛනික වැටුප ලබාදීමට රජයට මෙතෙක් හැකිවී නැත. ලංකාවේ ජනගහනයේ විරැකියා සංඛ්‍යා ලේඛනය 4%ක අනුපාතයක් පෙන්නුම් කළත් මුලු ජනගහනයෙන් 50%කට ආසන්න පිරිසක් නිසි ආදායම් තත්වයක් නොමැතිව දුගීභාවයෙන් පෙලෙන බව රජයේ සැලකිල්ලට යොමු විය යුතුය.
ජා.මු.අ. දරුණු කොන්දේසි මධ්‍යයේ අවධානමට ලක්ව ඇති ජනතාවට හොඳින් “සත්කාර” කලයුතු බවද කියා සිටියත්, ධනේෂ්වර ආර්ථිකය පෝෂණය කර ණය අයකර ගැනීම ජා.මු.අ. ගිවිසුමේ අරමුණය. ඒ නිසා අපගේ යුතුකම හා මගපෙන්වීම විය යුත්තේ ජා.මු.අ. හා ජනතාවගේ සහන කපාදැමීම නිසා මතුවන අරගලයන්හිදී සටන් වදින ජනතාවගේ ඉල්ලීම් දිනාදීම වෙනුවෙන් මැදිහත්විමය. එලෙසම මාලිමා රජයට ජනතාවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මගපෙන්වමින් දක්ෂිනාංශයට රජය කඩාබිඳ දැමීමට ඉඩ නොදෙමින් වමෙන් ඉදිරියට ගමන් කලයුතු මාවත එලිපෙහෙලි කරමින් සතුරු නොවන ආකල්පයකින් කටයුතු කිරීමය.