ලාංකික දේශපාලනයේ ඉදිරිය සදහා දක්ෂිනාංශික එක්සත් බලවේගයක්ද? වාමාංශික එක්සත් ජන බලවේගයක්ද?

-වාසුදේව-

ජනතාව ඡන්ද බලයෙන් පරාජය කළ, පැවති දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක් වූ දක්ෂිනාංශික බලවේගයත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දින දෙක තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල්කර ගෙන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක නියුතු වන්නේ යැයිද, ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට රජය සූදානම් වන්නේ යයිද චෝදනා ඉදිරිපත් කිරීම විහිලු සහගතය.  

සර්වජන ඡන්ද බලය අනුව සියලු බල අධිකාරයන් පත්වීමත්, භාෂනයේ නිදහස සහ ජනමාධ්‍ය නිදහස සහ දේශපාලන පක්ෂ නිදහස, පවතින තුරු මෙබදු අභූත බියකින් රජයට විරුද්ධව අවි අමෝරාගෙන ඒමට ජනතාව කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.

බලයට පත්වන ආණ්ඩු සිය ප්‍රතිපත්ති සහ සිය දේශපාලන උවමනාවන් සදහා පොලිසිය හමුදාව යොදවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස පාගා ගත් අවස්ථා මේ රටේ ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය.

කෙසේ වෙතත් ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්ථවත් කිරීම සදහා සියලු ජනතාවාදී බලවේග පෙල ගැසිය යුතුය. 

කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මකවීම යහපත් ලක්ෂණයකි. එය මර්ධනකාරී උපායක්ද නොවිය යුතුය.

ජ.ජා.බ පොදු හතුරා

මේ අනුව දක්ෂිනාංශික පක්ෂ එකතුවී ජා.ජ.බ.ය ‘‘පොදු හතුරා‘‘ ලෙස පෙන්වීමට ඉදිරිපත්වෙයි. විපක්ෂයේ එදා එකට එකතුවී රනිල්ගේ නායකත්වය යටතේ මේ රට ජා.මු.අ. විනාශකාරී ගිවිසුමට යටන් කළ පක්ෂ අද ජා.ජ.බ. විරෝධී එක්සත් පෙරමුණක් යෝජනා කරයි. පෙරටුගාමීන්ගේ දෝෂ තිබුනත් ඔවුන් යටකී දක්ෂිනාංශික හවුලේ නැත. ජා.ජ.බ. යට ජා.මු.අරමුදලේ ගිවිසුම් හිතූ පරිදි වෙනස් කරගත නොහැකිව හිරවෙමින් ගමන් කරනු පෙනේ.

එක්සත් වාමාංශික ජන පවුරක්

යටකී දක්ෂිනාංශික එකතුවට විරුද්ධව එක්සත් වාමාංශික ජන පවුරක් ගොඩ නැගීම දැනට අපගේ යෝජනාව විය. නමුත් ජා.ජ.බ. එයට ප්‍රතිචාර දක්වන්නේ නැත. එනිසා අපි දක්ෂිනාංශික බලවේගයන් සූදානම් කර ජා.ජ.බ. විරෝධී පෙරමුණකට එකතුවී අපගේ වාමාංශික කොඩිය පාවා දෙමුද? එවැනි ගමනකට අප කිසිසේත් සූදානම් නැත.

දක්ෂිනාංශික තර්ජනය වැඩිවීමත් සමග ජා.ජ.බ.යට වාමාංශික එක්සත්කම අවශ්‍ය වනු ඇත. එම අවස්ථාවේ ජා.ජ.බ. තුල බෙදීම් ද ඇතිවිය හැකිය. දැනට ජා.ජ.බ. ය දක්ෂිනාංශයට අයත් වන මහා ව්‍යාපාරිකයින් සමග සුහදතා පවත්වා ගනිමින් සිටී. එයද තාවකාලිකය.

ජනතාවගෙන් මතුවන පීඩනය

පලමු වරට අමාත්‍ය මණ්ඩල සංශෝධනයන් තුල පෙන්නුම් කරන්නේ මන්ත්‍රිවරුන්ගෙන් පැමිණෙන පීඩනය හා ජනවරම ඉදිරියට ගෙනයාම සදහා ඒකාධිකාරී ලක්ෂණ මවාපාමින් ගමන් කිරීමට නොහැකිවීම පිලිබදවය. එනිසා ඇමතිවරුන් වැඩිවීම නියෝජ්‍ය ඇමතිවරුන් වැඩි කර ගැනීම කන්ටේනර් ප්‍රශ්ණය නිසා ජනතාවගෙන් මතුවන පීඩනයට ප්‍රජාතන්ත්‍රවාදීව කන්දීමේ ලක්ෂණයන්ද මෙම වෙනස් කිරීම් වලින් පෙන්නුම් කරයි. මේ සියල්ල අතර ජනාධිපති තනතුර ඉස්සෙමින් ඉදිරියට ගමන කිරීමේ අව ලක්ෂණයද පෙනෙන්නට තිබේ.

ට්‍රම්ප්ගේ හිත දිනා ගැනීම

ලෝකය අලුත් විධියකට බෙදෙමින් ඇත. ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, ඇතුලු ආසියානු රටවල් 21ක් පමණ එක් වූ ෂැංහයි කෝපරේෂන් නම් වූ ආර්ථික හා ආරක්ෂක එකමුතුවට පැමිණි රාජ්‍ය නායකයින් හමුවීමට අපගේ ජනාධිපතිතුමා සහභාගී නොවීම හෝ වැදගත් නියෝජිතයෙක් නොයැවීම ජාත්‍යන්තර වශයෙන් ආසියාව තුල අප රට කොන්වීමකට හේතුවේ.  මෙය හුදෙක්ම ට්‍රම්ප්ගේ හිත දිනා ගැනීමට අනුගමනය කළ ‘‘උපායක් “ විය හැකිය.

චීනය හා ඉන්දියාව අතර තිබූ පසුමිතුරුකම් පහවී යමින් තිබීම ලෝක බලතුලනයේ අලුත්ම ලක්ෂණයයි. ඉන්දියාවත් චීනයත් දෙකමත් අධිරාජ්‍යවාදී ලෙස හදුන්වන මනස්ගාතයන් දේශපාලන හෝඩියවත් නොදනී. ඒ රටවල් වලට ආධිපත්‍යයක් ඇත. නමුත් එය අධිරාජ්‍යවාදයක් නොවේ. ඇමරිකාවේ හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ බලය දුර්වල වෙමින් ඇති මේ අවධියේ බ්‍රික්ස් – BRICS සංවිධානය වැනි බලගතු සංවිධානයක් ඇතිවීම ලෝකයේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලට තිබුනු බල ප්‍රධානත්වය දැන් බොහෝ සේ අඩුවි ඇත.

GenZ මුල් වූ ජනතා නැගිටීම්

අලුත්ම පරපුර GenZ මුල් වූ ජනතා නැගිටීම අවශ්‍ය යෙන්ම ප්‍රගිතිශීලිම නොවේ. එවැනි නැගිටීම් “රෝස වසන්තය‘‘ ලෙස හැදින්විය. නමුත් මෙම සෑම නැගිටීමකින්ම පසු ඇති වූයේ දක්ෂිනාංශික හෝ හමුදා ආණ්ඩුය. නැතහොත් අරාජික තත්වයන්ය.

ලංකාවේ ඇතිවූ ‘‘ජන අරගලයෙන්‘ පසුවද ඇති වූයේ මැදමාවතේ පක්ෂද දකුනට ඇතුලු කරගත් රනිල්ගේ නායකත්වයෙන් යුත් දක්ෂිනාංශික ප්‍රතිගාමී ආණ්ඩුවකි. ඊජිප්තුවේ මතුවූයේ හමුදා ආණ්ඩුවකි. නේපාලයේ බිද වැටුනේ රාජාණ්ඩුවට එරෙහිව විප්ලවකාරි නැගිටීමකින් පසුව ඡන්දයෙන් පත් වූ කොමියුනිස්ට් පක්ෂයද සම්බන්ධ ආණ්ඩුවකි. බංගලිදේශයේ පත්වී ඇත්තේ ආගම්වාදී ඇමරිකානු ගැති පාලනයකි. තවමත් ග්‍රාමීයව සිදුවන ආගමික ඝාතන ගැන සොයා බැලීමට කෙනෙක් නොමැති තරම්ය. නේපාල තාවකාලික ආණ්ඩුව 2026 මාර්තු ඡන්දයක් ප්‍රකාශ කර ඇති බැවින් සිදුවිය හැකි දේ බලා ගැනීමට පුලුවන.

නිතරම දේශපාලන තත්වයක ප්‍රධානය

ජා.ජ.බ. අපගේ සහයෝගය ගනන් නොගැනිම දේශපාලනයේ ප්‍රධාන කරුණ නොවේ. නිතරම දේශපාලන තත්වයක ප්‍රධාන කරුණ හඳුනා ගත යුතුය. එය විෂයබද්ධ කරුණකි. එනම් පංති බලවේගයන්ගේ පෙල ගැසීම අනුව ඉදිරියට පැමිණ ඇත්තේ කුමන සමාජ බලවේගයක්ද යන්න හඳුනා ගැනීමය.

ජා.ජ.බ.ට පක්ෂව, ගෝඨාභයට ඡන්දය දුන් මැදමාවතේ බලවේග එක්වූ අතර, මැදමාවතේ නායකත්වය රනිල්ගේ දෙපා ලඟ වැටුනේ කුමක් නිසාද යන්න දේශපාලනිකව විග්‍රහ කර ගත යුතුය. එය ලංකා දේශපාලනයේ ඓතිහාසික වර්ධනයකි. නවලිබරල්වාදයේ බිදවැටීමත් සමග එම මාවතින් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ මැදමාවතේ දේශපාලන නායකයින් ජනතාවගේ නැගිටීම් හමුවේ පලාගොස් දක්ෂිනාංශක බලකදවුර තුල සැගවීයාම මෙයින් පෙන්නුම් කරයි. එනිසා එම දක්ෂිනාංශික ගමනට අවතීරණය වූ පක්ෂ හා නායකයින්ට අනාගතයේ නැවතත් මැද මාවතක් හදා ගෙන ඉදිරියට ඒමට ඉඩක් මතු වන්නේ නැත. ඔවුන් දකුණට බර තීරු සංවිධාන ලෙස හෝ දක්ෂිනාංශික සංධානක කොටස්කරුවන් ලෙස ඉදිරියේදී හැසිරෙනු ඇත.

ආණ්ඩුවට  බලපෑම් කිරීමේ අවධිය

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යෝජනා කරන  ආණ්ඩු වැඩපිලිවෙලෙහි පිටපතක්  අනුර කුමාර ජනාධිපතිතුමා වෙත ඔහු ජනාධිපතිවීමට පෙර යවා ඇත. ඔහුගේ ස්තුතිය පලකර අප වෙත ලිපියක්ද එවා තිබේ. දැන්  එම වැඩපිලිවෙලෙහි අඩංගු යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීම සදහා එකතු කර ගත හැකි වාමාංශික බලවේග සමග එක්වී ආණ්ඩුවට  බලපෑම් කිරීමේ අවධිය මතුවෙමින් තිබේ. .

වෘත්තිය සමිති සිය අයිතිවාසිකම් උදෙසා කරන සටන් ආණ්ඩු විරෝධීම වේයැයි නිගමනය කිරීම වැරදිය. වැඩපොලේ සටන් හෝ උද්ඝෝෂණ ඇති වන්නේ ආණ්ඩුව එම කරුණු වලට යොමු කර ගැනීම හා සාකච්ඡා මගින් ඒවා බේරුම් කර ගැනීමටය. දක්ෂිනාංශිකයින්ට හා විපක්ෂයට උවමනා වී ඇත්තේ ඒවා ආණ්ඩු විරෝධී අරගල බවට පරිවර්ථනය කර ගනිමින් කඩිනමින් බලය අල්ලා ගැනීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ කර ගැනීමටය. නමුත් තවමත් එවැනි විෂයබද්ධ තත්වයක් නොමැත.

රනිල්ගේ කොමිටි අධ්‍යාපනයද?

දැනට ආණ්ඩුව විසින් ගෙන ඇති ප්‍රධාන තීරණ දෙකක පිලිබදව සමාජය තුල තියුණු මතවාදයන් මතු වෙමින් තිබේ. එයින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවාද යන කරුණයි. මෙහිදී විද්වතුන් මතුකරන ප්‍රධාන කරුණ වන්නේ මෙම වැඩපිලිවෙල රනිල්ගේ කොමිටියකින් හැදු පියවරක් ඉදිරියට ගෙනයාමක් මිස කිසිදු විද්වත් සාකච්ඡාවක් මගින් එය සිදුවී නොමැති බවය. එය වඩාත් තහවුරු වන්නේ ඒ පිලිබදව ජනතාව වෙත උත්තර දීම සදහා මැදට පැනීම සිදු කරනු ලබන්නේ අගමැතිනිය හා අධ්‍යාපන අමාත්‍යවරය වන ආචාර්ය හරිනි මැතිතුමිය වීමය.  අධ්‍යාපන අමාත්‍යාංශයේ  නිල මට්ටමින් හෝ විශ්ව විද්‍යාලවල සිටින විද්වතුන්හෝ එම ප්‍රතිසංස්කරණවලට පක්ෂව කරුණු දැක්වීමට මැලිවෙමින් පවතී. එම කරුණ ගැන කඩිනමින් ජනතාව සමග සම්මුතියකට ගත නොහැකි වුවොත් එයම ආණ්ඩුවේ විනාශයට අත වනන තවත් කරුණක් වනු ඇත.

මීට අමතරව මෑතකදී ලමා ආරක්ෂාව සදහා ගෙනඒමට යෝජිත නීති සංශෝධන ගැන සමාජය තුල බරපතල වවාදයක් මුවී තිබේ. ළමුන් ආරක්ෂා කර ගැනීමට වඩා, තරුණ තරුණියන්ට ලිංගික නිදහස භුක්ති විදීමට අයිතිය මුවාවෙන් දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වෙන් කර ස්වාධීන ලෙස තීරණ ගැනීමට ඉඩක් සලසා දීමට පිටුබලයක් තිබිය යුතු බවට රජය සම්මත කිරීමට යෝජිත පනත මගින් උද්දීපනය වෙන බව සර්ව ආගමික නායකයින් පෙන්නා දී තිබේ. නව ලිබරල්වාදයට ගැලපෙන පරිදි ලිංගිකත්වය පිලිබද බටහිර සම්ප්‍රදායන් එකවර ලාංකික සමාජයට ගලපා ගැනීම කළ නොහැකි බව රජය තේරුම් ගත යුතුය. එසේම සමාජයේ උපතින් සිදුවන හා පසුව සිදුවියහැකි ශාරිරික ලිංගික විපර්යාෂයන් නිසා මිනිසෙකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එම පිරිසට ඇති අයිතිය යටපත්වීමටද ඉඩක් නොතැබිය යුතුය. ඊට අදාල වෙන ආකාරයට නීති වෙනස්කම් සිදු කිරීම වරදක් නැත. වැඩිහිටි පාසැල් දරු දැරියන්ට ලිංගික ගැටලු විශේෂයෙන්ම HIV වැනි රෝගයන් ගැනද, ගැබ් ගැනීම් ගැන ඇති ප්‍රශ්ණද පහදා දීම අවශ්‍යය. එසේ කරනුයේ දරුදැරියන් ඒ සදහා වන විපත්වලින් බේරා ගැනීමේ උවමනාව මුල්කර ගෙනය. නමුත් මෙය විපක්ෂය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ කොටසක් බවට පෙරලා ගැනීමේ උත්සාහයක් පවතින බව පෙනේ. .

ඉදිරි වර්ෂයේ මුල් භාගය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට සිදුවනු ඇත. එහිදී වාමාංශික එක්සත්කම පදනම කරගෙන නව සංධාන ක්‍රියාදාමයක් මතුවීමේ ඉඩකඩ පවතී. විශේෂයෙන් රජය වෙනම ගමන් කිරීමට උත්සාහ කලත් වාමාංශික ජනබලවේගය දක්ෂිනාංශයට ඉඩ නොදී වමෙන් ඉදිරියට ජනතාව සමග පෙරට ගමන් ගැනීමේ උත්සාහයට සැලකිය යුතු ඉඩකඩක් පවතී. විශේෂයෙන් සමාජවාදී පෙරමුනේ පක්ෂ හා එම ප්‍රතිපත්ති පිලිගැනීමට කැමති පිරිස් එක් වුවහොත් සෑම පළාත් සභාවකම සැලකිය යුතු මන්ත්‍රි සංඛ්‍යාවක් ජා.ජ.බ. මෙන්ම සමාජවාදී පෙරමුනේ වාමාංශිකයින්ටද දිනාගත හැකි වනු ඇත.  

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *